මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්න – රට පුරා ව්‍යාසනයක්

Posted on January 11, 2011



වැස්ස නිසා ගංවතුරත් නාය යාමුත් සිදුව කිප දෙනෙකු මියගොස් තවත් අය අතුරුදන්ව තවත් බොහෝ අය අනාථ වී තිබේ. ඒ කණගාටුදායක තත්වය ගැන අපිදු කම්පනයට පත්ව සිටින අතර විපතට පත් අය වෙනුවෙන් කරන හැම කටයුත්තක්මත් මේ වෙලාවේ අපේ අගය කිරිමට ලක් කරනු කැමැත්තෙමු.

මේ ස්වභාවික උපද්‍රව සම්බන්ධයෙන් ආන්ඩුව වගකිව යුතු නැත.

ධාර්මික රජවරු රට පාලනය කරන විට දෙවියන් නිසි කලට වැසි වස්සන බව කියමින් ව්‍යවහාරික ආගමින් බොරු මනස්ගාත ගෙන හැර පා ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමේ බාල මෙහෙයුමකට ද අප ලෑස්ති නැත.

එහෙත් අනාථ වූ අයට ආධාර ඉල්ලා මහජනයාගෙන් සිගා කන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි අපි කියමු. ඒ ආණ්ඩුව විසින් තවදුරටත් ඉසිලිය නොහැකි ලෙස ජීවන බර ජනතාව පිට පටවා ඇති නිසා ය.

මෙය එදාවේල ටුවර්ස් ආණ්ඩුවකට ඔරොත්තු නොදෙන තරමේ ගංවතුරක් බව සැබෑ ය.

ආරංචිවල හැටියට මඩකලපුවේ පමණක් පවුල් 86000ට අයිති 323000 ක් පමණ ජනයා විපතට පත්ව සිටින අතර 863 නිවාස මුලුමනින් විනාශයට පත්ව තවත් 2885 ක් නිවාසවලට අලාභ ද සිදුව ඇත. මඩකලපුවේ ජනයා මුහුණ දෙමින් ඉන්නා තත්වය සුනාමියට ද වඩා දරුණු යයි කියනු ලැබේ. සුනාමිය බැට දී බැස ගිය නමුත් මේ ගංවතුර ජනයාට තර්ජනය කරමින් වඩවඩාත් දරුණු වෙමින් තිබේ.

(අනෙත් පළාත්වල ද තත්වය මීට දෙවැනි වෙන එකක් නැත. එහෙත් අපට දත්ත සපයා ගත හැකි වූයේ මඩකලපුවෙන් පමණකි).

ආණ්ඩුව ආධාර ගැන කියන්නටත් පළමුව ලෝක ආහාර සංවිධානය විපතට පත්වූවන්ට රු මිලියන 50 ක ආහාර ආධාර ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේ ය. ඒත් මෙවැනි විටක පිහිටට ඉදිරිපත්වෙන ජාත්‍යන්තර ආධාර සංවිධාන රාශියක් සමග ආණ්ඩුව සිය අධිමානය නිසාම විරසක වූයේ ය. දැන් දෙකොන රත්වී ජනතාවගෙන් ආධාර පතන්නට සිදුව ඇත්තේ ඒ නිසා ය.

සැළසුම් සහිතව අනාගතය දෙස බලනවා වෙනුවට ගමේ සිල්ලර කඩයක මෙන් බිත්තර ඉවර වුනාම අල්ලපු කඩයට දුවන ආණ්ඩුවකට මෙවැනි වෙලාවක කළ හැකි දේ අල්ප බවත් ආධාර ඉල්ලා සිටිය හැකි සංවිධාන ප්‍රමාණය පවා අල්ප බවත් ඇත්ත ය.

ආණ්ඩුව ඉල්ලුවත් නැතත් අල්ලපු ගමේ විපතට පත් මිනිසුන්ට කෑම උයා ගෙන ගොස් දීමට මේ ගමේ මිනිසුන් ඉදිරිපත් වනවා ඇත.

ඒත් මේ වෙලාවේ චන්දයක් ඉස්සරහ ඒවාත් තමන්ගේ අතින් බෙදන්නට අරමුණු කරගෙන වැඩ කරනවා නම් ඒ ගැන අපට පළකළ හැක්කේ අපුල පමණකි.

විපතට පත් මිනිසුන්ගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් සෙසු මිනිසුන් ඉදිරිපත් වනු ඇතැයි අපිදු පතමු.

තමන්ගේ විච්චූර්ණ වියදම් නවත්වා මේ මොහොතේ තමන් විසින් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉතිරි කරන්නට යන්නේ මොනවාද කරන්නට යන්නේ වෙන කුමන පරිත්‍යාගයක් ද යන කාරණා ආණ්ඩුව ද රටට කිව යුතු බව අපේ හැගීම ය. එහෙම නොකර තමන් අතින් බෙදා දෙනු ‍පිණිස ජනතාවගෙන් පමණක් ආධාර පැතීම වැරදි ය.

ඒ නිසාම ජනතාවගෙන් හිගන්නේ නැතිව රටට හා ජනතාවට අත්ව ඇති ව්‍යාසනය ගැන තමන්ගේ පරිත්‍යාගයන්ගෙන් වහා පියවර ගන්නා ලෙස ආණ්ඩුවට අපි බල කර සිටිමු.

එපමණක් නොවේ. මාර්ග වතුරින් යටව ඇති නිසාත් සමහර මාර්ග වතුර බැස යනු පිණිස මිනිසුන් විසින්ම කපා ඇති නිසාත් මඩකලපුවට ආධාර ගෙන යා හැක්කේ උඩු ගුවනින් සහ බොට්ටුවලින් පමණකි. ඒ සම්පත් ඇත්තේ රජයට මිසක ජනතාවට නොවේ. ඒ සියලු සම්පත් ඉක්මණින් නොයෙදුවහොත් තව බොහෝ දෙනෙකු මියයනු ඇත්තේ ය. එසේ නොවන බවට වග බලා ගැනීමට ජනතාවගේ බදු වලින් යැපෙන ආණ්ඩුවකට වගකීමක් ඇත්තේ ය.

Posted in: Uncategorized