ආදරයේ බලය හා බලයට ඇති ආදරය

Posted on March 5, 2010



ආදරයේ බලය විසින් බලයට ඇති ආදරය යටපත් කළ දවසක මිනිසාගේ නිදහස උදාවනු ඇත.

ජිමී හෙන්ඩ්රික්ස් විසින් කියා ඇති මෙම කියමන රසවත් එමෙන්ම අතිශයින් අර්ථාන්විත එකකි.

අප ජීවත්වන්නේ බලයට ආදරය කරන රටක ය. එහෙම රටක බලය ලබා ගැනීමට ඇති ආදරය විසින් යටපත් කරනු ලබන්නේ ආදරයේ බලය පමණක් නොවෙ.

මිනිසුන්ගේ නිදහසත් ඒ සමගම එය අහෝසි කරයි.

අනෙකා යටපත් කරගැනීමෙන් ඇතිකරන වහල්භාවය සාමය ලෙස නිර්වචනය කළොත් මිසක එවැනි තැනක සාමයක් ඇතිනොවෙ.

බොහෝ අය හිතන්නේ අහෝසි කරන්නේ අනුන්ගේ නිදහස බව ය. එහෙත් අනිත් අයගේ නිදහස අහෝසි කළ හැක්කේ තම නිදහස පරදුවට තැබීමෙන් පමණක් බව උන්ට නොතෙරෙ.

ඒ උන් ආදරයේ බලය නොහදුනන නිසාම නොවෙ. ඊට අමතරව උන් මෝඩ ද නිසා ය.

ආදරයේ බලය හදුනන්නේ මෛත්‍රීය සිත් ඇත්තෝය. වෛරය නොකරමියි පාරම්බාමින් මෛත‍්‍රිය රටට පේන්නට පමණක් කරන භාවනාවක් බවට පත් කර ගෙන ඇති මිනිසුන්ට  ඇත්තේ බලයට ඇති ආදරය පමණ ය.

උන් මෝඩ මිනිසුන්ට බොල් ආදරයක් පාමින් බලයම සොයා යති. ආදරය නොහදුනන මිනිසුන්ට බොල් ආදරයත් මහ ආදරයකි.

වංචාවත් කුහක කමත් සිවුරකින් හා සුදු රෙද්දකින් වසා ගත් රටක සිට තවත් එවැනිම රටකට පැමිණි මට සිහිපත්වූයේ පාලකයිනුත් හමුදාවත් පන්සලත් අතර පවතින සම්බන්ධය ලොව කොතැනත් එකම බව ය. බුදුදහමත් දේශප්‍රේමයත් අතර දීගයක් පැවතීමත් එය පන්සල හා හමුදාව යන ද්විත්වය තුළින් ප්‍රකාශයට පත්වීමත් පුදුමයක් වන්නේ ආත්ම වංචනයේ යෙදෙන්නට අකමැති මිනිසුන්හට පමණක් බව ය.

මියන්මාරයත් ලංකාවත් අතර බොහෝ සමානකම් තිබුන ද එක් ප‍්‍රධාන වෙනස්කමක් වෙයි. ඒ මියන්මාරයේ ජනතාව මත එහි පාලනය විසින් බලයෙන් පටවා ඇති දෙය ලංකාවෙ ජනතාව විසින් සිය කැමැත්තෙන් තමන් මත පටවා ගෙන තිබීම ය.

Posted in: Uncategorized