සෙල්ලමට බර ක්‍රීඩා ඇමති තුමකු ලැබූ අප වාසනාවන්ත ය!

Posted on December 29, 2010



මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේ අලුත් ක්‍රීඩා ඇමති ය. එතුමා කොහොමටත් සෙල්ලක්කාරයා ය. එතුමා කළ එක සෙල්ලමක් කොච්චර දුර දිග ගියේ ද යත් හැම දෙයක්ම මුවින් නොබැන ඉවසූ මැතිවරණ කොමසාරිස්ටත් ඒ හුරතලයට ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි වූ නිසා නාවලපිටිය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ද කල් ගියේ ය. සෙල්ලමට එතරම් ලොල් කෙනෙක් ක්‍රීඩා ඇමති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අපි රජතුමාට අපේ සතුට ප්‍රමාද වී හෝ පළ කළ යුතු ය.

ඇත්තටම මර්වින් ලගට හයිය ඇති එකකුට ඉන්නේ අලුත්ගමගේ ය. විමලයා මෙන් කැමරාවට නොව ඇත්තටම වැඩ පෙන්වන්නට අලුත්ගමගේට පුලුවන.

එතුමා අපට පෙන්වා දුන්නේ පරන පරිපාලනයන් යටතේ ක්‍රීඩාව බල්ලාට ගොස් තිබූ ආකාරය ගැන ය.

හැම අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට පසුවම ඇසුණු මේ කතාව හැමදාම කියන කතාවක් ලෙස සළකා බැහැර කරන එක අලුත්ගමගේ වැනි ක්‍රීඩා කෞෂල්‍යයක් විදහා දක්වන කෙනෙකු සම්බන්ධයෙන් අනුගමනය කිරීමට අපේ කැමැත්තක් නැත.

ක්‍රීඩාව දැන් නැගලා යන එක වළක්වන්නට සුසන්තිකාට හෝ සනත් ජයසූරියටවත් ඉඩ ලැබේ යැයි සිතන්නට අමාරු ය.

රටේ ඉතිරි සියල්ල බල්ලාට ගියත් දැන් ක්‍රීඩාව නම් රැකෙනු ඇත්තේ ය. එය වටිනා දෙයක් වන්නේ අප සෙල්ලමට කැමති ජාතියක් නිසා ය. හැම දෙයක්ම අපට සෙල්ලමක් වී ඇති නිසා ය.

අලුත් පරිපාලනය නමෝවිත්තියෙන් වැඩ පටන් ගෙන ඇත්තේ සියලු ක්‍රීඩාංගන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගන ලෙස නම් කිරීම හරහා ය. එයින්ම දුර පෙනෙන දැක්මක් එයට ඇතැයි අපට සිතේ. රජතුමාගේ නමින් තිබෙන ක්‍රීඩාංගනයක් වුනහම ඒක රැකගන්න කවුරුත් බලනවා ය. ඒ නිසා ක්‍රීඩාංගන සියල්ල ඉබේම රැකෙනු ඇත්තේ ය.

පුංචි පරහකට ඇත්තේ ඔහොම ගියහම නාමල් රජවුනු කාලෙක ඔහුගේ නමින් නම් කරන්නට ක්‍රීඩාංගනයක් නැතිවෙන එක ය. ඇත්තටම නාමල් කියන්නේත් සෙල්ලමට බර කෙනෙකි. දැන්ම තියා නාමල නමින් ක්‍රීඩාංගනයක් හැදුවාට ඒ නිසාම කවුරුවත් දොස් කියන එකක් නැත. රජතුමාගේ පුතා නිසා එවැනි ක්‍රීඩාංගනයක් වුව ඉබේ රැකෙන්නේ ය.

ඒ නිසා නව ක්‍රීඩා ඇමතිගෙන් අප ඉල්ලා සිටින්නේ හම්බන්තොට ක්‍රීඩාංගනය නාමල් රාජපක්ෂ ක්‍රීඩාංගනය ලෙස නම් කරන ලෙස ය. තාරුණ්‍යයට හෙටක් අත් කරන්නට ඔහු දරණ වෑයමට අනුබලයක් දීමට ද ඒ මගින් හැකි ය. ක්‍රීඩාව අයිතිත් තරුණයන්ට බැවින් එය වඩාත් කාලෝචිත වනු ඇත්තේ ය.

ඔන්න ඇමතිතුමනි, කරනවා නම් කරන්නට මතක හිටින වැඩි වියදමක් යන්නේත් නැති වැඩක්! අනාගතයට හොද ආයෝජනයක්! ක්‍රීඩාවට හෙටක්!

Posted in: Uncategorized