ආගම යනු … (1)

Posted on November 3, 2008



පැසලදිය හැකි ආභරණයක් නොවේ. අවාසනාවකට මේ රටේ බොහෝ දෙනාට එය ආභරණයකි. තම හැසිරීම් නිසා පිටතට පෙනෙන ජුගුප්සාජනක ආත්මය සරසා වෙනත් පින්තූරයක් ලෝකයට දිය හැකි අතිශය සාර්ථක මාර්ගයකි. ඒ නිසා ඔවුහු ලෝකයට පෙනෙන්නට ආගමික වැඩ කරති. එහෙත් තමන්ගේ ජීවිතය තුළින් කිසිදු ආගමික හැසිරිමක් ප්‍රදර්ශනය නොකරති.

සීමා ගසා වෙන්කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් නොවේ. තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨබව, වැඩි වියදමක් නොකර වැඩි ආයාසයකින් තොරව පෙන්විය හැකි වන නිසා ද ඒ නිසා වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි නිසා ද තමන්ව සෙසු අයගෙන් වෙන් කර දැක්වීමට ආගම පහසුවෙන් භාවිතා කළ හැකි තාප්පයකි. පවුරකි. තාප්පයෙන් මෙපිට ඉන්නේ තමන්ගේ අයය. එපිට ඉන්නේ අනුන් ය. උන්ට නැති සමහර වරප්‍රසාද තම්නට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදිකර සීමාව සටහන් කිරීමෙන් පමණකි. චීවරය නිසා බසයක නම් නිකම්ම නිකම් අසුනක් ද ගෙදරක දී නම් සරසන ලද අසුනක් ද ලබා ගැනීමේ වරම් ලැබෙන්නේ එසේ ය. උන්ට ඇති වරප්‍රසාද උදුරාගත හැක්කේ ද වෙන්කර හදුනාගැනීමෙනි. පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දිමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය.

අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් නොවේ. අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය. මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගුණධර්මවලින් පිරිහුණු භික්ෂූන්ට දේවගැතිවරයින්ට තම පන්සල්වලට පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකම් කරන නායකයින්ට එක් දිනක කෙටි පූජාවකට සහභාගිවී මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය යට විමසන්නට මනසක් ඉතිරි නොවේ.

අනෙකාට පහර දිය හැකි ආයුධයක් නොවේ. ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තුළ අපට දැකිය හැකි විය. ආගම යොදා ගෙන තම සැමියාට වචනයෙනුත් බිරිදට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලින් දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලභ තර්කය නම් අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේ ආරක්ෂාව ලබමින් එම ආගමම අවියක් කොට ගෙන තම දූ දරුවන්ට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී උවමනාවෙන් ඒත්තු ගන්වනු ලබන්නේ අකීකරු කමේ ආනිසංස ය. මේවා ඉගෙන දැන ගනු පිණිස කෑදර කමෙන් දරුවන් දහම් පාසල් දක්කනු දැක ගත හැකි ය. ආගම යොදාගෙන තම ප්‍රතිමල්ලවයන්ට (ශාරුක් ඛාන්ගේ සංදර්ශන නරඹන්නනට එන අයට යුද්ධයට විරුද්ධවන්නන්ට වැනි නොයෙකුත් දෙනා හට පහර දෙනු දැකිය හැකි ය. බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ එහි ප්‍රතිවිරුද්ධයයි. අනුන් වැරදි කරුවන් කිරීමට පමණක් එය යොදාගැනීම ය.

පසුබැසිය හැකි ආරක්ෂක ස්ථානයක් නොවේ. ගෙදර කරදරවලින් මිදීම සදහා සති අන්තවලදී බණ මඩුවල ගත කරන පිරිමින් ද ගෙදර අනේක විද දුක්පීඩාවලින් මිදීම සදහා සතර පෝයට සිල්ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත්තේ මේ නිසා ය. මේ බණ අසන බොහෝ දෙනා තුළ අප දකින්නේ සියළු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ. ඔවුන්ට බණ ජීවිතයේ දුක් කරදරවලින් තාවකාලිකව වෙන්වීමට ලැබෙන් ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධවන්නට මේ රටේ කාටවත් නොහැකිවීම ඔවුන් ලබන කදිම නිදහසකි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් ඔවුන්ගේ ජිවිත දිහා බලන විට නම් කෙනෙකුට පෙනෙන්නේ නැත. 


Any one who wants to enrich this discussion about what the religeon is not …they are welcome to comment. Await a series on the same topic in next blog posts, with your inputs taken in to consideration.

Posted in: Uncategorized