මුස්ලිම් පර්දාව හා සිංහල බෞද්ධ සාරිය

Posted on September 5, 2010



ගැහැණියකගේ හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන සේ ඇදිය යුතු යැයි සැළකෙන, සමහර විට ඉතිරිව ඇති දෙනෙත ද යාම්තම් පෙනෙන පරිදි පමණක් ඉතිරි කොට එයද දැලකින් වසා දැමීම ද ඇතුළත්, පර්දාව ශිෂ්ඨ සමාජයක් විසින් අනුමත කළ යුතු ද?

මේ ගැන අපට – සිංහල බෞද්ධ අපට- මතයක් දැරිය හැකි ද? විශේෂයෙන් සිංහල බෞද්ධ පාසල්වල විදුහල්පතිවරු අම්මලාට සාරිඅන්දන වටපිටාවක එහි අරුත කෙසේ තේරුම්ගත යුත්තේ ද?

සංවේදී ප්‍රශ්නයක් වුව මෙය කතා කිරිම යහපත් යයි සිතුවෙමු.

ගැහැණියකගේ මේ පර්දාව ඇදීමට ප්‍රතිපක්ෂය වන්නේ එක්කෝ කුඩා බිකිණියකින් සැරසීමය. ඒත් නැත්නම් නැදම ඉදිම ය. එහි හොද නරක ද කතා කළ යුතු ය.

මේ ගැන ආගමික මතයක නොඉද බලන්නට හැකි නම් හොද ය. මේ උත්සහය ඒ සදහා ය.

පළමුවෙන්ම කිව යුත්තේ ඇදුම, අදින්නාගේ පෞද්ගලික රුවිය අනුව විය යුතු යයි කියා අපට මෙයින් ගැලවිය හැකි බව ය. එවිට මුස්ලිම් කාන්තාවන් අදින්න රුචි වන්නේ පර්දාව නම් එයත් බටහිර කාන්තාවන් අදින්නට රුචි වන්නේ බිකිණිය නම් එයත් අනුමත කර අපට අපේ අම්මලාට සාරි ඇන්දවිය හැකි ය.

එහෙත් ‍ඇදුම සම්බන්ධයෙන් කතාව ඒ තරම් සරල නැත. ඇදුමක් කෙනෙකුට පහසුව සැළසිය යුතු ය. අනෙත් අතට දුටුවන්ගේ ආසාවන් කුලප්පු නොකරන මට්ටමක තිබිය යුතු ය. ඒ නිසා පර්දාව ගැනත් බිකිණිය ගැනත් සළකතොත් ඒ දෙක ම අන්ත දෙකක් ලෙස සළකා බැහැර කළ හැකි ය.

පර්දාව සම්බන්ධයෙන් තව අතුරු කතාවක් තිබේ. ඒ මෙය අන්දවනු ලබන්නේ සමාජ තහංචි විසින් බව ය.

බොහෝ තැන්වලින් බිකිණිය බැහැර කරවනු ලබන්නේ ද සමාජ තහංචි නිසා ය.

දියුණු සමාජයන්හි මේ ඇදුම සංවාදයට බදුන් කරන අතර තැනට ගැලපෙන ඇදුමක් තෝරාගැනීම ගැන ඔවුන් බොහෝවිට සබුද්ධික ය. ඒ ගැන සෝෂල් එටිකට් කියා විෂයක් යටතේ හැදෑරිමක් ද ඔවුහු කරති.

බිකිණියක් හෝ අමුඩයක් පවා නැතිව සිටිය හැකි වෙනම නිරුවත් කදවුරු පවා අනුමත කර ඔවුන් විසින් පවත්වාගනු ලබන්නේ ඒ නිසා ය.

එහෙත් බොහෝ නොදියුණු රටවල  ඇදුම සම්බන්ධයෙන් ඇත්තේ එවැනි සබුද්ධික තීරණ ගන්නා ක්‍රියාවලියක් නොවේ. සමාජ සම්ප්‍රදායන් හා මතවාදයන්ගෙන් අන්ධ ලෙස අදහනු ලැබ ගන්නා තීරණයන් ය. ඒවාට මිනිසුන් යටත් කරවීම තුළ යම් ආකාරයක මතවාදීමය ආධිපත්‍යයක් සමාජය වෙත පැතිරවීමේ අනුහස ද ඒ යටත් කරවන්නන් විසින් ලබා ගෙන තිබේ. ඇත්තටම ඇදුමෙන් ලබන ප්‍රයෝජනයට ද වඩා වැඩි ප්‍රයෝජනයක් ඔවුන් ලබන්නේ මේ යටත් කර ගැනීම හරහා ය.

තමන්ගේ ගැහැණියට පර්දාවක් ඇන්දවීමට බල කරන, එසේ නොකරන අයට දඩුවම් පැමිණවීමට කටයුතු කරන, මුස්ලිම් කණ්ඩායම් ද පාසැලට සාරි ඇද ගෙන ඒමට අම්මලාට බල කරන, එසේ නොකරන අය හරවා යවන, සිංහල බෞද්ධ විදුහල්පතිවරුන් ද කරන්නේ එයයි.

ඒ වෙනුවට ඇදුම නිදහසේ හා ස්වයං විනයේ සංකේතයක් වනවා නම් එහෙම දවසක ඉර වඩාත් ලස්සණ වනු ඇතැයි යනු අපේ හැගීම ය.

එවැනි දවසක නිදහස් මිනිසුන් විසින් ඇදුමේ ආවරණයේ හා නිරා‍වරණයේ ප්‍රතිවිපාක පිළිබද විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන තම ඇදුම් ස්වේච්ඡාවෙන් තීරණය කරනු ඇත්තේ ය.

කොන්ත නෝනාගේ හැට්ටය කොන්ත නෝනාට ඕනෑ විදිහට ය. කොන්ත නෝනා යමක් කමක් තේරෙන ගෑණියක් කර ගැනීම සමාජය සතු වගකීමකි. එය ඉටු නොකර ඇගේ හැට්ටයේ දිග පළල ගැන අනම් මනම් කියා කොන්ත නෝනාට අවමන් කිරීම කොන්ත නෝනාගේ නිදහසට කරන ඇගිලි ගැසීමකි.

එක් එක් විකාර ඇදුම් අදින්නට මිනිසුන්, විශේෂයෙන් ගැහැණුන්, පෙළඹෙන නිසා ආගම කරන ආකාරයේ මැදිහත්වීමක් ඒ සදහා අවශ්‍ය නම් විද්‍යාවට එය වඩා තියුණු ආකාරයට හා වඩා යහපත් ආකාරයකට කළ හැකි ය. මේ උදාහරණයේදී නම් ඒ සදහා අවශ්‍ය වනුයේ ඇදුම පිළිබදව – එහි මනෝවිද්‍යාව පිළිබදව- කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල සමාජය ඉදිරියේ තැබීම ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ආගමික තහංචි පනවීම පසෙක තබා ඒ වෙනුවට විද්‍යාත්මක දැනුමෙන් මිනිසුන් සන්නද්ධ කිරීම කිරීම ය.

Posted in: Uncategorized