දරුවන් අයිති කාටද -2

Posted on June 16, 2010



දරුවන් අයිති කාටදැයි අපි ප‍්‍රශ්න කළෙමු. දරුවන් දෙමාපියන්ට අයිති යැයි දෙමාපියන් සිතන නිසාම එය එසේ විය හැකි දැයි ප‍්‍රශ්න කිරීම අපගේ මූලික අරමුණ විය.

දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට දෙමාපියන්ට අයිතියක් නැතැයි ඉන් නොකියවෙ. එහෙත් ඒ තීරණ ගත යුත්තේ හැකිතාක් දරුවන්ගේ ද සහභාගිත්වයෙනි.  උන් සම්බන්ධයෙන් ඇති සහකම්පනයකිනි.  උන්ගේ අනාගතය ගැන ඇති කැක්කුමකිනි.

දෙමාපියන්ට ඉක්මණින් සසරින් එගොඩ වීමට වත් තමන්ගේ ලොකුකම් පෙන්නීමටවත් නොවෙ.

එසේ තීන්දු තීරණ දෙමාපියන් විසින් නොගන්නා විට හෝ ඊට ප‍්‍රතිපක්ෂව දරුවන්ට හානි දායක තීන්දු තීරණ උන් විසින් ගන්නා විට ඊට මැදිහත්වන්නට සංවිධිත සමාජයට හැකි ය.

එහෙත් එයින් අදහස්වන්නේ දරුවන්ගැන ඇල්මක් ඇති දෙමාපියන් මත බලාධිකාරී ලෙස තීන්දු පැටවීමට රජයට හෝ සංවිධිත සමාජයට අයිතියක් ඇත යන්න නොවෙ.

සාමාන්‍යයෙන් ඉදිරිගාමී සමාජ දරුවන්ගේ අයිතිවාසිකම් වලට ද දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අයිතිවාසිකම් වලට ද ගරු කරති. ඒ අතරම දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ යුතුකම්ද දක්වා සිටිති.

යම් මැදිහත් කිරීමක් කරන්නේ ඒවා ඉටුනොවන විට හෝ අර්බුදයකට ගිය විට ය.  උදාහරණයක් ලෙස මනස ලෙඩවි සිටින පියාගෙන් හෝ මවකගෙන් යම් හිරිහැරයක් දරුවාට සිද්ධ වෙයිනම් ඒ ගැන සොයා බලන්නට මැදිහත් වන්නට සංවිධිත සමාජය සකස් වි තිබෙ.

(ජූජක බමුණාට තම දරුවන් දන් දෙන්නට වෙස්සන්තර ගත් තීරණය සංවිධිත සමාජයක මැදිහත්වීම අතිශයින් අවශ්‍යව තිබුනු අවස්ථාවකි.)

එහෙත් දරුවන් හැදිය යුත්තේ කෙසේ ද ඔවුන්සම්බන්ධයෙන් කළ යුතු අනෙකුත් සියලු මෙ මෙ ආකාරයෙන් කළ යුතු යයි කියමින් ක්ෂුද‍්‍ර කළමනාකරණයක් කිරීමට එවන් සමාජ කටයුතු නොකරති.

උදාහරණයක් ලෙස ඉරිදා ඉගෙන ගත යුතු ද නැත්ද පන්සල් පල්ලි යා යුත්තේ කවදා ද කොයි වෙලේ ද වැනි සිල්ලර කාරණා සම්බන්ධයෙන් සංවිධිත සමාජය නීති පනවන්නේ නැත.

දරුවන් අයිති දරුවන්ට ය. අප දෙමාපියන් ලෙස ද සංවිධිත සමාජය ලෙස ද උන් සම්බන්ධයෙන් උන් ලොකු මහත් වන තුරු තීරණ ගන්නා බව සැබෑ ය. එහෙත් උන්ගේ මුලු ඉරණමම අනතුරෙ හෙල න තීරණ ගන්නට ඒ මගින් අපට අයිතියක් ලැබෙන්නේ නැත.

දරුවන් සම්බන්ධයෙන් අප කටයුතු කරන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය සමාජයක් ලෙස අප කොතරම් දියුණු ද නැත් ද යන්න හගවන හොඳම දර්ශකයකි.

ඒ නිසාම ඒ ගැන සැළකිලිමත් වීමත් සංවාදයේ යෙදීමත් ඒ සම්බන්ධයේදී වඩාත් නිවැරදි වීමත් අතිශයින් වැදගත් ය.

Posted in: Uncategorized