ෂෂීන්ද‍්‍ර රාජපක්ෂට අදාළ නැති සරත් ෆොන්සේකාට පමණක් අදාළ …

Posted on January 1, 2010



සරත් ෆොන්සේකා මහතා රජතුමාට විරුද්ධව ජනපති වරණයට එතැයි යන්න හිතලුවක් වූ මුල් අවධියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ස‍හෝදරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ දේශපාලනය වගේ ජරා ‍ක්ෂේත්‍රයකට සරත් ‍ෆොන්සේකා මහතා එන්නේ නැති බව තමන්ට ඉර හද සේ විශ්වාස බවය.

සරත්ගේ දේශපාලන ආගමනයත් සමග ඒ සහතිකය හිරු දුටු කදෝපැනියක් මෙන් දියව ගියේ ය.

ඒ සහතිකය ලැබූ සරත් ෆොන්සේකා අද විමල්ගේ දේශද්‍රෝහී ලයිස්තුවේ මුලට ම පැමිණ සිටී.

එපමණකින් නොනැවතී සරත් ‍ෆොන්සේකා විසින් කළැයි කියන උණ්ඩ ගනුදෙනුවක් ගැන ර‍ජයේ සියලු මැති ඇමතිවරුන් අභිබවමින් හේ ප්‍රශ්න කරමින් සිටියි. සියලු අවිගනුදෙනු කරන ලද්දේ රජයේ සමාගමක් විසින් බවත් එහි ප්‍රධාන විධායක වූයේ තමන් කඹුරන රජතුමාගේ සොයුරා බවත් අමතක කර හෙතෙම තවදුරටත් සරත් ෆොන්සේකාට අභියෝග කරයි.

වන්දිභට්ටකම් කරන විට අදින්නට වන බරෙහි නිමක් නැත. කර ගහන්නට වන කරුමයෙහි ද නිමක් නැත.

දේශපාලනය වැනි ක්ෂේත්‍රයකට තමන් කවදාවත් නොඑමැයි සපථ කරන යුද විරුවන් දැන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙයි. කොටිනායකයා අල්ලා ගත් බලකාය මෙහෙයවූ ජනරාල් කපිල ගුණරත්න ඉන් කෙනෙකි.

මේ ප්‍රශ්නය අසා උත්තර ගැනීමට දැන් මාධ්‍ය වේදීන් උත්සුක වන්නේ රජතුමාට කඩේ යා හැකි හා සරත් කිච කළ හැකි එක් ක්‍රමයක් අනෙකුත් අය ලවා මෙසේ කියවා ගැනීම ය.

දේශපාලකයින් විසින් සිත් සේ වළදමින් තිබෙන මේ භෝජන සංග්‍රහයට පැරෂුට් කාරයින් පැමිණිම දේශපාලනයේ යෙදෙන්නන්ගේ කැමැත්ත පිණිස වන්නේ නැත.

අප විසින් මේ අනුව තේරුම් ගත යුත්තේ මේ ක්ෂේත්‍රයට පිවිසිය හැක්කේ ප්‍රාදේශිය සභාවෙන් මොන්ටිසෝරියට ගොස් පළාත්සභාවෙන් ද්වීතීයක අධ්‍යාපනය ලබා ඉනික්බිති එළඹෙන තරග විභාගයෙන් ජයගෙන පාර්ලිමේන්තු සරසවියට පිවිසෙන අයට පමණක් බව ය.

ඇත්තටම මේ යන ගමනේ ජනතාව මුලාකරන්නේ කෙසේ ද උන් බිය වද්දන්නේ කෙසේ ද උන්ගේ දරුවන් වඩා ගෙන හුරතල් පාන්නේ කෙසේ ද යන මෙකී නොකී බො‍හෝ ශිල්ප ශාස්ත්‍ර හැදැරිය යුතු ය.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා ය. ලොක්කා කියන පදයට අනුව කිසිදු විමසීමකින් තොරව අත් දෙකත් වුවමනා වුනොත් කකුල් දෙකත් උස්සන්නට හැකියාවක් ද ළගා කර ගත යුතු ය.

වැඩිය හිතන්නේ මතන්නේ නැතිව අහුවෙන ඕනෑම ගල් ගෙඩියකින් පොලුකෑල්ලකින් හෝ ආයුධයකින් විපක්ෂයට අතින් පයින් සංග්‍රහ කරන්නත් ඕනෑම බේගලයක් පණ පිහිටුවා කියා විරුද්ධ පාක්ෂිකයින් අපහසුතාවයට පත් කරන්නත් හැකි විය යුතු ය.

මේ සියල්ල සහිත දේශපාලන පරිචයක් ලබා ගැනීම දින හතලිහකින් කළ නොහැකි ය. ඒ සදහා අඩුවශයෙන් වසර 40 ක්වත් දේශපාල‍නයේ  නියැලිය යුතු ය.

කිසිදු රැකියාවක අත්දැකීම් නැති වුව ද සෂින්ද්‍ර රාජපක්ෂ වැනි ජන්මයෙන් එවැනි පරිචයක් ලද කෙනෙක්ට මෙවැනි පළපුරුද්දක් අත්‍යවශ්‍ය නැත. ඇත්තටම එතුමා ඌව පළාත් සභාවේ මහඇමති වන්නේ ඒ මහා වාසනා ගුණය නිසා ය.

එවන් ජන්ම වාසනාවක් ඇති කෙනෙකුට මිසක එකවර මහා දේශපාලන වගකීමක් දැරීමට වසර හතලිහක් හමුදාවේ සේවය කළ පමණින් සරත් ‍ෆොන්සේකාට (අවසානයේ ජයග්‍රාහී යුද්ධයක් මෙහෙයවු හමුදාපති කෙනෙකු බවට පත්වුව ද) පුලුවන් වන්නේ නැත.

කෙනෙකු එසේ සාර්ථක වූ දේශපාලන චරිතයන් ගැන වෙනත් රටකින් උදාහරණ ගෙනා හැකි ය. එහෙත් ඒවා පවා ලංකාවට අදාළ නැත.

Posted in: Uncategorized