මගුල් කතා

Posted on May 10, 2009



ඉස්සර කාලේ මගුල්ගෙවල්වල කතා පැවැත්වුවේ දෙපැත්තේ වැඩිහිටියෝ ය. බොහෝ දැනුම් තේරුම් ඇති සෙයක් පාමින් මාගල් මෙන් දිග නිරස අවවාද අනුශාසනාවලින් ඒවා පිරි තිබිනි. අතරින් පතර විහිළුවක් නොකියවුනා නොවේ. ඒ ද අවවාදයක් දෙන අතර වාරයේ ය.

මෑතකදී මා සහභාගී වූ මගුල් ගෙවල් කීපයකම වැඩිහිටියන් විසින් කළ ඒ කාර්යය තරුණ තරුණියන් පවරාගෙන තිබුනු දකින්නට ලැබිණි.

මේ නව පන්නයේ මගුල් කතා පැවැත්වීම වැඩිහිටියන් විසින් තරුණ තරුණියන්ට පවරන ලද වගකීමක් නොවන බවත් එය තරුණ තරුණියන්ගේ වුවමනාව නිසාම තමන් වෙත පවරා ගත් වගකීමක් බවත් මට තේරුණේ මෑතකදී ඥාතී නැගනියකගේ මංගල්ලයක් සංවිධානය කරන සාකච්ඡුාවකට අහම්බෙන් හොම්බ දැමීමට ලැබීමෙනි.

අපෝ මගේ මගුල් ගෙදර නම් ඔන්න අනුශාසනා  ඕන නැහැ! ඒ කීවේ මනමාලියයි. අක්කගේ මගුල් ගෙදර මටත්  ඕන කතාවක් ඒ කීවේ ඇගේ නැගණියයි.

මේ තරුණ කතාවල වැඩිහරියක් ඇත්තේ තම යහලූවා, යෙහෙලිය, සොහොයුරා, සොහොයුරිය ගැන පුංචි කාලේ මතක සටහන් ද සහිත සොඳුරු හැගීම් ය. ඔහුගේ හෝ ඇයගේ ජීවිත එලිය වැටෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවට සොඳුරු ප‍්‍රාර්ථනා ය.

ඒවා නීරස අවවාදවලට වඩා දැඩි එලියක් මගුලට එක් කරයි.

මේ නව පන්නයට මා කැමති ය. එය තව තවත් විවාහ උත්සව වලදී දකින්නට ලැබේවායි මගේ පැතුම ය.

තම ජීවිත වරද්දාගත් ඊනියා වැඩිහිටියන්ගේ වැදි බණ අසන්නට සිදුවීමේ පාපයෙන් අප බේරාගන්නට ඉදිරිපත් වී ඇති අපේ පරපුරේ තරුණ තරුණියන්ට ඉතිරි ක්ෂේත‍්‍රයන් තුළ ද එසේ ඉදිරිපත් වී වෙනසක් ඇති කරන්නට ධෛර්යය ලැබේවායි පතමු.

Posted in: Uncategorized