මත්පැන් ඇතුවත් නැතිව නැතිවත් නැතිව ගත කළ 31 දා රාත‍්‍රිය

Posted on January 1, 2010



දෙසැම්බර් 31 දා පරණ අවුරුද්ද ගෙවෙන පැයේ සුපිරි හෝටල්වල සාද පැවැත්වීම ලෝකයේ බොහෝ රටවල පමණක් නොව දැන් කාලයක සිට අපේ රටෙ ද දක්නට ලැබෙන සිරිතකි.

එය හෝටල් කර්මාන්තයට විශාල ලෙස ලාභ උපයා ගත හැකි ව්‍යායාමයකි.

ඊයේ (ගෙවුණු 31 දා) තත්වය කෙසේවූයේ දැයි නොදනිමු. ඒ ඊයේ පුන් පොහෝ දිනක් වූ බැවිනි. පෝය දිනට මත්පැන් අලෙවි කරන්නට බැරි ය. මත්පැන් නැති සාදයක් අවුරුද්ද ගෙවෙන පැයේ පැවැත්වූවාට ලොකු ආදායමක් ගන්නට බැරි ය.

මෙය දන්නා නිසාදෝ විශේෂ බලපත‍්‍රයක් ලබාගත් සුපිරිහෝටල්වලට මත්පැන් විකිණිමෙ අයිතිය ලැබෙනු ඇතැයි නිවෙදනයක් තිබිණි.

පෝය දිනයට මෙම විශේෂ අවසරය ලැබෙන්නේ (මෙ දිනවල කැළණිය පැත්තේ වැඩ වාසය කරන) අපායේ යම රජ්ජුරුවන්ගෙන් ද සියම් නිකායේ (බෙන්ස් රථ ගත් – නොගත්) උභය පාර්ශවයෙන් ද (ඊයේ පෙරෙදා රක්ෂිත බන්ධනාගාර ගත කළ දඹර අමිල වැනි) අධිකරණ සංඝ නායක කෙනෙකුගෙන් ද යන්න පැහැදිලි නැත.

මෙතැන අසාධාරණයක් තිබෙ.

ලොක්කන්ට කැප මත් පැන් පොඩ්ඩන්ට අකැප කිරීමෙ ය.

විස රහමෙර ලොක්කො බිව්වහම අපට මොකෝ? අප පෙනී ඉන්නේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යයි මෙම විශේෂ බලපත‍්‍රය දෙන්නට තීන්දු කළ බලධාරීන් කියන්නට පුලුවන. එවැනි ලස්සණ හා සෝබන කතා කීමෙ ලා උන් දක්ෂ ය.

ඌරාගෙ මාලු කපන්නේ ඌරාගේ ඇගේ තියලා ය.

ඇයි මෙවැනි වංචා කියා අසන අපට හෙළ උරුමයෙන් මත්පැන් කුළු ගන්වනවා යයි කතන්දර අහන්නට සිදුවෙ.

ඊයේ සිදුවුනේ කුළු ගැන්වීමක් නොවෙ. හෝටල් ක්ෂේත‍්‍රයට අත දීමකි. ඇත්තටම එහෙම කියන්නට පුලුවන. එහි වැරැද්දක් නැත. ඔනෑම ක්ෂේත‍්‍රයකට අත දීම හොඳ දෙයකි.

සරත් ෆොන්සේකා මහතා කිව්වාක් වගේ සමාජශීලිත්වය සඳහා සීමාසහිත මත්පැන් ප‍්‍රමාණයක් භාවිතාකිරීම කැප යැයි අවංකව කියා සිටීම මතට තිත කියා කියනා ගමන් මත්පැන් පානය කර ඒ අතරම ඒවා තුළින් හරි හම්බු කිරීමෙ වරම තම වර්ගයාට පමණක් දෙනවාට වඩා කෙතරම් හොඳ ද?

සරත් ෆොන්සේකාගේ පාලන කාලයක් එළැඹ කියන දේ කරන, කරන දේ කියන, අඩුවශයෙන් වංචනික නොවන රටක් වත් බිහිවෙයි ද?

එය, හංගාගෙන නොව එලිපිටම, නිතරම නොව හදිසියේ, කන බොන අපගේ අපේක්ෂාව වුනොත් වැරදි ද?

Posted in: Uncategorized