ලාල් පීරිස් (කුඩුලාල්) මැතිතුමා

Posted on March 5, 2009



එතුමා අපේ බ්ලොග් අඩවියට පවා කාලයක් ගොඩ වැදුනේ ය. ඒ නිසා ම එතුමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති මේ මොහොතේ එතුමා වෙනුවෙන් වචනයක් ලිවීම අපේ ද යුතුකමකි.

එජානිස අනෙකුත් අපේක්ෂකයින් නිදා සිටියදී තමන්ගේ අපේක්ෂත්වය වෙනුවෙන් මුලින්ම පොස්ටර් ගැහැව්වේ එතුමා ය. ඒ අංශයෙන් ජවිපෙට පවා නැති හයියක් තමන්ට ඇති බව එතුමා ඔප්පු කළේ ය.

එතුමාගේ පොස්ටරයේ අපේ නායකතුමාගේ පින්තූරයක් ද ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ගේ පින්තූරද තිබුනි. එතුමා කොතරම් දේශපේ‍්‍රමියෙක්දැයි එයින්ම අපට පෙනී ගියේ ය.

ඇත්තටම එතුමාට අපේක්ෂත්වය අහිමිකරලීමට විරුද්ධවාදීන් (එජානිසයට රිංගාගෙන සිටින දේශද්‍රෝහීන්) උත්සුක වූයේ ද මේ කාරණය පාදක කර ගෙනය. හමුදාවට තමන්ගේ ඇති භක්තිය ප‍්‍රදර්ශනය කිරීමට අපේක්ෂකයෙකුට මේ රටේ අයිතියක් නැත් ද?

ඩයලොග් සමාගම වැනි පුද්ගලික සමාගමකට පවා යුද්ධය විකුණාගෙන කෑ හැකි නම් කුඩුලාල්ට පමණක් එය අහිමිකරන්නේ ඇයි?

ටයිම්ස් පත‍්‍රයට එතුමාම කියා ඇති පරිදි එතුමාගේ දේශපාලන මග පෙන්වන්නා මර්වින් සිල්වා මහතා ය (ජාතික රූපවාහිනියට මර්වින් සිල්වා මහතා ගොඩනැගුණු වෙලාවේ පවා එතුමාගේ සෙවනැල්ල මෙන් සිටියේ කුඩුලාල් බව බොහෝදෙනෙකුට මතක ඇතැයි සිතමි). මර්වින් සිල්වාගේ දේශපාලන මගපෙනවන්නා අතිගරු ජනාධිපති තුමා ය. ඒ අර්ථයෙන් ගත් කළ කුඩුලාල්ගේ දේශපාලන මගපෙන්වන්නාගේ දේශපාලන මගපෙන්වන්නා ද අපේ ජනාධිපති තුමා ය.

එවැනි සුදුසුකම් රාශියක් තිබියදී එතුමාට මේ අපේක්ෂත්වය නොදීම පිටුපස දේශද්‍රෝහී කුමන්ත‍්‍රයක් කි‍්‍රයාත්මකද යන්න පිළිබඳ විශාල සැකයක් අපට තිබේ.

කුඩු ලාල්ට අපේක්ෂත්වය අහිමි වන්නේ ඌ වලව්වකින් නෑවිත් අපේ පැළැන්තියෙන් ආ නිසා දැයි වගකිවයුත්තන්ගෙන් අහන්නට අපට සිදුව ඇත්තේ මේ නිසා ය. මේ වැරැද්ද ඉදිරි මැතිවරණයකදී වත් නිවැරදි කරණු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අප එතුමාට කියන්නේ මෙයින් අධෛර්යමත් නොවන ලෙස ය. වෙලාව ආවාට පසු ඔය කාටවත් ඔබේ නැගීම වළක්වන්නට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා අප කියන්නේ වෙලාව එනතෙක් පොඞ්ඩක් ඉවසන ලෙස ය. එහෙම ඉවසපු ගොඩක් අයට හරි ගියේය. ඒ නිසාම ඔබට හරි නොයන්නට හේතුවක් නැත.

කුඩු ලාල් මැතිතුමනි හරි ගිය දාකට අපිත් පොඩි බකප් එකක් දුන් බව පමණක් මතක තියා ගන්න. අප ලොකු දේ ඉල්ලාගෙන ඔබ ලගට එන්නට බලාපොරොත්තුවක් නැත. අපට නම් ඔය ප‍්‍රාදේශිය සභාවක මන්ත‍්‍රී කෙනෙක් වී පොඩි කොන්ත‍්‍රාත් එකක් කරගන්නට ඉඩක් ලබා දුන්නොත් ඒ ඇතිය. එහෙම වුනොත් ඔබතුමා අපගේ දේශපාලන මග පෙන්වන්නා තනතුරේ තබා පුදන්නට අපට හැකි ය.

Posted in: Uncategorized