විභාග කොමසාරිස්ගේ ජනතා හිතේෂීත්වය

Posted on August 31, 2010



අපේ දේශපාලනඥයින් බොහෝම දෙනෙක් වගේම විභාග කොමසාරිසුත් ජනතාවට ආදරේ ය. ඇත්තටම ඔහු බොහෝවිට ප්‍රදර්ශනය කර ඇත්තේ නිලධාරියෙකුගේ චරිතයට වඩා දේශපාලනඥයෙකුගේ චරිතය යි. ආණ්ඩුවේ ප්‍රශ්නපත්‍ර පුද්ගලික අංශය විසින් පොත් ලෙස පල කොට මුදල් හොයන්නාවූ ද එමගින් ජනතාවගේ මුදල් ගසා ගන්නා වූද වැඩපිළිවෙලක් ගැන ඔහුගේ අවධානය යොමු වී තිබිණි.

මින් ඉදිරියට කවුරු හරි ප්‍රශ්න පත්තර එහෙම මුද්‍රණය කරල අහුවෙල තිබුනොත් උන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එතුමා කියා සිටියේ ය.

ආණ්ඩුවෙන් ගහන ප්‍රශ්න පත්‍ර “අඩු මුදලට (?) ලබා ගත හැකිව තිබියදී” පුද්ගලික අංශයෙන් ගහන මේ ප්‍රශ්නපත්‍රම ජනතාව මිලදී ගන්නේ ඇයි?

ඊට හේතු හොය හොයා ඉන්නට වෙලාවක් විභාග කොමසාරිස්ට නැත. ඒ නිසා එතුමා ලෙහෙසිම වැඩේ කළේ ය. ඒ ප්‍රශ්නපත්‍ර ගහන්නන් අල්ලා අච්චු කිරීමට කටයුතු කරන බව කීමට ය.

පෙට්‍රල් ෂෙඩ්වල ඇර පෙට්‍රල් විකිණීම සාමාන්‍යයෙන් තහනම් ය. එහෙත් සිල්ලරට පෙට්‍රල් විකුණන කඩ තිබේ. ඒවා තරමක් ගණන් ය. ඒත් මිනිසුන් ඒවා වැඩිමිලක් ගෙවා ගන්නේ උන්ට ඔලුව අමාරුවක් ඇති නිසා නොවේ. පෙට්‍රල් ෂෙඩ් එකකට යන්නට ඊට වඩා වියදම්වන නිසා ය. පෙට්‍රල් නම් එසේ ගබඩා කර තැබීමේ අනතුරක් ඇත. ඒ නිසා ආරක්ෂාව සදහා තහනම් කිරීමේ යම් තේරුමක් ඇත. එහෙත් ප්‍රශ්න පත්‍ර!

බැංකුවලින් අඩු පොලියට මිනිසුන්ට ණය ලබා ගත හැකි ය. එහෙත් එසේ ලබාගත හැකිව තිබියදී උන් ගිණි පොලියට ණයට ගනිති. ඉතින් මෙය ද ජනතාව ගසා කෑමකි. එහෙත් ගිනි පොලීකාරයා ජනතාවගේ හිතවතෙකි. එසේ වන්නේ බැංකු ණය ගැනීමට ඉදිරිපත් කරන්නාවූ කොන්දේසි ලේසි පහසු මිනිහෙකුට මිස වෙන කෙනෙකුට සම්පූර්ණ කළ නොහැකි නිසා ය. දැන් සමහර ගම්වල ක්‍රියාත්මක වන සමූපකාර ණය ක්‍රමයන්වලින් නම් එක්තරා දුරකට ගිනි පොලීකාරයින් පසුබැස තිබේ. එහෙත් ඒ මෑතක ය. එතෙක් ගම්මුන්ට පිහිට වූයේ ගිනි පොලීකාරයා ය.

ප්‍රශ්න පත්‍ර වැඩේ ද ඊට කිට්ටුවෙන් යයි.

ප්‍රශ්න පත්‍ර අඩු මිලකට විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්නට පුලුවන් නම් පුද්ගලික ව්‍යාපාරිකයින්ට එයින් ජවාරමක් ගෙන යා නොහැකි ය. ඔවුන්ට ඒ සදහා ඉඩක් ලැබෙන්නේ විභාග දෙපාර්තමේන්තුව එසේ නොකරන නිසා ය.

ප්‍රශ්න පත්‍ර සාධාරණ මිලකට ජනතාවට සැපයිමේ නොහැකියාව විභාග කොමසාරිස් වසා ගන්නට හදන්නේ එසේ සපයන්නන් දඩු කදේ ගහලා ය.

හැම පැත්තකින්ම අසාර්ථක වෙමින් සිටින මෙවැනි නිලධාරීන් පාස් කර ඇති විභාග මොනවාදැයි සොයන්නට හිතෙන්නේ පය බරවායට ‍පිටිකර බෙහෙත් බදිනවා වගේ මෙවැනි ගොන් කතා ද කියන විට ය.

Posted in: Uncategorized