විකල්පයක් වෙනුවට ආදේශකයක් සොයන විපක්ෂයේ ඛේදවාචකය!

Posted on August 30, 2010



දවල් 1 ට ආරම්භ වන්නේ ගුවන් විදුලි සේවාවල ආදර කතා විකාශනය යි. මෙය එක් ගුවන් විදුලියකින් ආරම්භ කරන ලදුව දැන්වන විට සියලු ‍ගුවන්විදුලි සේවාවන්ට බෝවී ඇති මෝස්තරයකි. ටෙලිනාට්‍යය ද එබදු ය. එක් නාලිකාවක ටෙලි නාට්‍ය නම් සියලු නාලිකාවලම ඒ වෙලාවට ටෙලි නාට්‍ය ය. එකක මෙගා ටෙලි නාට්‍ය නම් සියල්ලේම මෙගා ය.

අපට විකල්පයක් නැත. වැඩි දෙනා බලන්නේ කුමක් ද එය බැලිය යුතු ය. විකල්පයක් නැතිවාට ආදේශකයක් තිබේ. සිරසේ ආදර කතාවට අකමැති නම් සිටිඑෆ්එම් එකේ ආදර කතාවට සවන් දිය හැකි ය.

මාධ්‍ය සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලන සම්බන්ධයෙන් ද සත්‍යය වනුයේ ඒක ය. වැඩි දෙනෙක් ප්‍රතාපවත් රැවුලකට කැමති ය. දේශපාලනයේ සටනක් දීමට නම් ඒ රැවුල තිබිය යුතු ය. තමන් නෑන්දත් වැඩි දෙනෙක් කපටි සූට් එක නොහොත් රෙද්ද බැනියම අදින දේශපාලනඥයන්ට කැමති ය. ඒ නිසා ෆයිට් එකක් දෙන්නට වුවමනා නම් එය ඇදගෙන ආ යුතු ය.

සිංහලයෙන් යමක් හරියට ලියා ගන්නට තරම් ඥානයක් හැකියාවක් නැති වුව ද බෞද්ධාගමේ මූලික ඉගැන්වීම්වලට එහෙම පිටින්ම පරිබාහිර ජීවිතයක් ගත කළේ වුව ද බොහෝ දෙනෙක් සිංහල බෞද්ධත්වය වෙනුවෙන් පෙනී සිටිනවාට කැමති ය. ඒ නිසා සියලු ජාතීන් වෙනුවෙන් පෙනී සිටීම යටින් සිංහල බෞද්ධ න්‍යාය පත්‍රයක් ඇතිව සිටින දේශපාලනඥයෙක් බව පෙන්විය යුතු ය. සරත්‍ ෆොන්සේකාව ගේන්නට සිදුවුනේ ඒ නිසා ය. රනිල් වෙනු‍වට තවමත් නොමේරු සජිත් ගේන්නට හදන්නේ ඒ නිසා ය.

අප හොයන්නේ විකල්ප (alternatives) නොවේ. ආදේශකයන් (substitutes) ය.

මහින්ද රාජපක්ෂට අකමැති අය කළ යුත්තේ මහින්දගේ ආදේශකයක් හොයා ගැනීම ය.

එහෙත් මේ අය නොදකින මේ අයට නොපෙනෙන පොඩි පරහක් තිබේ. ඔරිජිනල් එක කොහොමටත් ඩුප්ලිකේට් එකට වඩා හොද බව ය. අහන්නට වෙන්නේ ආදර කතාවක්ම නම් සිරස බැලීම ඒ අනුව වඩා හොද ය. හොයන්නේ රාජපක්ෂ කෙනෙක් නම් ඇත්තටම සජිත් ප්‍රේමදාසට වඩා ඔරිජිනල් රාජපක්ෂ හොද විය හැක්කේ ය. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවේ. ඔරිජිනල් එක නිසා ය.

ඒ නිසා රාජපක්ෂ වෙනස් කිරීමට කල්පනා කරන අය තේරුම් ගත යුතු කාරණය නම් රාජපක්ෂට වඩා හොදින් රාජපක්ෂ කරන කාර්යය කරන්නට සමතෙක් හොයා ගැනීමත් ඒ රාජපක්ෂ, රාජපක්ෂට වඩා රාජපක්ෂ බව මිනිසුන්ට ඒත්තු ගැන්වීමත් දෙකම අමාරු කාර්යයන් බව ය. දෙවැන්න පළමුවැන්නට ද වඩා අමාරු ය.

රටට අවශ්‍යව ඇත්තේ ආදේශකයන් නොව විකල්පයක් බව තේරුම් නොගන්නේ නම් විපක්ෂයට තවත් චිරාත් කාලයක් විපක්ෂයේම සිටිය හැක්කේ ය.

විපක්‍ෂයෙන් සෙනග ආණ්ඩුවට ඇදෙන්නේ ද විපක්ෂය විකල්පයක් වීමට අපොහොසත්ව ඇති නිසා ය. මහින්දගේ තාලයට අඩිය තියන්නට හදනවා විනා අලුත් තාලයක් ඉදිරිපත් නොකරන නිසා ය. ඒ තාලයට අඩිය තිබීම අවශ්‍ය නම් තාලයේ රග මහින්දගේ වාදනයෙන්ම ලබා ගැනීම ප්‍රඥාගෝචර නිසා ය. ආදේශකයක් වන්නට යන්නේ නම් ඒ දුර්වල ආදේශකය තුළ රැදෙනවාට වඩා ඔරිජිනල් එක සමග සිටීම නුවණක්කාර නිසා ය.

මුස්ලිම් කොංග්‍රසය ද ඇතුළු ආණ්ඩුවට එකතු වූ බො‍හෝ දෙනෙකු සිතනු ඇත්තේ එසේ ය. අතේ තිබෙන යුනිලීවර් සන්ලයිට් කෑල්ල ඉවත දමා බාල “සන්නයිට්” කැල්ලක් ගන්න කැමතිවනු ඇත්තේ කවුද? සබන් වෙනුවට විකල්පයක් ඉදිරිපත් කරන්නේ නම් එවිට සන්ලයිට් කෑල්ල විසිව යනු ඇත්තේ උඩින් ය. එය ආදේශකයක් තනනවාට වඩා අමාරු ය. නායකයින් අවශ්‍ය අමාරු වැඩ කිරීමට ය. ලෙහෙසි වැඩ මිනිසුන්ටම කර ගත හැකි ය.

Posted in: Uncategorized