සත්ව ඝාතනය, බුද්ධාගම, ශිෂ්ඨත්වය හා අපේ ලංකාව

Posted on August 29, 2010



ගොවියා මැසිතෙල් ගසා ගොයමට වගාවට විණ කරන අස්වැන්න පාලු කරන කුඩමැක්කන් කොළ හකුළුවන දළඹුවන් ඈ මෙකී නොකී සත්ත්වයන් මරා දමයි. ගැහැණිය මී කතුර තියා එසේත් නැතිනම් බෙහෙත් දමා ගෙදර බව භෝග රැක ගැනීමට මීයන් මරයි. ගෙහිමියා වේයන් කුහුඹුවන් කැරපොත්තන් ගේ රැක ගැනීමට මරයි. ‍සිය දරුවන්ගේ ආරක්ෂාව පතා දෙමාපියන් විසකුරු සර්පයන් ද දැන් කාලේ නම් මදුරුවන් ද මරයි. අපට මස් මාළු සපයන මස්වැද්දාත් ධීවරයාත් ආහාර පිණිසත් විකුණනු පිණිසත් සතුන් මරයි. කෝවිලේ දේවාල පුල්ලියා බිලි පූජාවට සතුන් මරයි.

සතුන් මරණ හේතු විවිධ වුව ද සතාගේ කෝණයෙන් නම් ඒ සියල්ල එකක් අනෙකට නොදෙවෙනි පණ යන වැඩ ය.

කුකුලන් කැලෑවට හැදෙන්නේ නැත. එළුවන් හරකුන් ද කැලේ නැත. උන්ගේ පැවැත්ම ඇත්තේ මිනිස් වාසයේ ය. අප මස් කෑම අවසන් කළ දාට උන් අභාවයට යනු ඇත්තේ ය.

වරක් එක් දිවයිනක කොටින් සමග මුවෝ වාසය කළෝ ය. මුවන් රැක ගැනීමට සිතූ පින්වන්තයෙක් කොටියන් රැස අල්ලා දිව‍යිනෙන් බැහැර ‍කළේ ය. ටික කළකින් මුවෝ නැතිව ගිය හ. හේතුව වූයේ පාලනය නොකළ මුව ගහණය විසින් කැළෑ කොළ ද තණකොළ ද සියල්ල කා අවසන් කිරීම ය. උන් ඒ නිසා මිය ගියේ බඩ ගින්නේ ය.

බුදුදහම ප්‍රාණ ඝාතය ප්‍රතික්ෂේප කළ ද සතුන් නොමරන බෞද්ධයින් නැත. තමන් නොමරතත් ඒ අය වෙනුවෙන් කවුරුන් හෝ ඒ කාර්යය ඉටු කරනු ලැබේ. පූසන් ඇති කරන්නේ උන් ලවා අධිසීලය රැකීමට නොවන බව එසේ ඇතිකරන උපාසක-උපාසිකාවන් නොදන්නවා නොවේ. තමන් නොදකින වේලාවක මීයෙක් මරා ගත්තහම මීයාගේ පව්කාර කම ගැන දුක්වෙනවාට අමතරව සතුන් සම්බන්ධයෙන් උපාසක-උපාසිකාවන්ට වෙන අමාරුවක් නැත. පන්සල්වල වේයන්ට සත්කාර කරන බවත් මීයන්ට එවැනිම සංග්‍රහයන් මෙත් සිත් නැති පව් කාර ඇබිත්තයෙකුගේ එකවුන්ට් එකට බැරවී  සිදුවන බවත් නොදන්නා දායකයින් නැත.

මෙහෙම බලාගෙන ගියහම මැරීම සිදුවන අතර එය ස්වභාවික බව ද ප්‍රායෝගික යථාර්තයක් බව ද නොපිලිගන්නා කවුරුවත් ම නැත.

ප්‍රශ්නයේ ඉතිරිවන්නේ කුමක් ද? මරණ ආකාරයේ ය. අඩුම වේදනාවකින් මැරීමේ ය. ඊට අමතරව එය ප්‍රසිද්ධියේ කරන්නේ නැති ව අප්‍රසිද්ධයේ කරන්නේ නම් හොද ය.

ඇත්තටම අපි එලියේ කැත කරන්නේ නැත. චූ කරන විට පවා ආවරණයක් හොයන්නෙමු. ලිංගික ක්‍රියාකරකම් ද හැමෝටම දැක බලා ගන්නට කරන්නේ නැත. ඒ මිනිසා ශිෂ්ඨ නිසා ය.

ඒ අර්ථයෙන් ගත් කළ වසා ඇති තැනක වැඩි සද්ධ බද්ධයක් නැතිව සතාට වැඩි හිරිහැරයක් නැතිව වැඩේ කර ගැනීමේ ශිෂ්ඨ කම අප විසින් වැදගත් කොට සැළකිය යුතු ය. අම්මාන් කෝවිලේ බිලි පූජාව අශිෂ්ඨ වූයේ එසේ නොසළකන ලද නිසා ය. එය පවා වසා ඇති තැනක අලුත් ක්‍රමවේදයන් භාවිතා කොට සිදු කළේ නම් අපට විරුද්ධ වන්නට බැරි ය. විරුද්ධ වනවා නම් විරුද්ධවීමට එවිට ඉතිරිවන්නේ මේ අමන විශ්වාසයට ය.

එහෙම විශ්වාසවලට විරුද්ධවෙන්නේ නම් ලංකාවේ මිනිසුන් අතර කප්පරක් අමන විශ්වාස ඇත.

කාලි අම්මාන් කෝවිලේ සත්ව ඝාතනය සම්බන්ධයෙන් අපට ඒ නිසා ඉතිරිවන්නේ ඒ සත්ව ඝාතනය වසා ඇති තැනක සතාට අවම වේදනාවක් වන පරිදි කරන ලෙස ඉල්ලා සිටීමට ය. ඒ සදහා උද්ඝෝෂණය කිරීමට ය.

එසේ නොකොට එය අමන විශ්වාසයක් යයි සළකා විරුද්ධවන්නේ නම් අපට සිදුවන්නේ ලංකාවේ තිබෙන කප්පරක් එවැනි අමන විශ්වාසයන් සියල්ලට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට ය. ඒක ද නරක නැත. එහෙත් පුංචි පරහක් තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාරුම කාරණය වන්නේ අමන විශ්වාස කුමන ඒවා දැයි තෝරා බේරා ගැනීමේ ය. උන්ගේ අමන විශ්වාස අප අමන යයි සළකනවා වාගේම අපේ අමන විශ්වාස ද අපට නොපෙනෙතත් උන් අමන යැයි සැළකීමට ඉඩ ති‍බේ. එහෙම වුනොත් වැඩේ හබක් ය.

කාලි අම්මාන් කෝවිලේ සත්ව ඝාතනය උදෙසා පියවර ගැනීමේ දී අප මුහුණ දෙන ගැටලු සිතන තරම් පුංචි නැත. මේ සටහන ඒ බව ඒත්තු ගන්වන්නට කළ වෑයමකි.

මෙය ලියන්නට මග පෑදුනේ අපේ කාලි අම්මාන් දේවාලයේ බිලි පූජාව පිළිබද ලියන ලද සටහන කම්බස් කරන්නට ඉදිරිපත් වූ අපේ බ්ලොග් සහෘදයන් නිසා ය. ඉතින් මේ සටහන අවසන් කරන මේ අවස්ථාවේ ඒ ගැන ඔවුන්ට ස්තුති කළ යුතුම ය. කලින් වතාවේදී මෙන් නැතිව ඔවුන් මේ අලුත් මාතෘකාවට යුක්තිය ඉෂ්ට කරනු දැක්ම අපේ අභිලාෂයයි.

Posted in: Uncategorized