තරහ අවසර! මෙන්න මේ කාරණය ගැනත් සංඝ ආඥාවක් නිකුත් කරන්න බැරි ද?

සරත් ෆොන්සේකාට ජනපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි සංඝආඥාවක් නිකුත් කිරීමට සාමාන්තරව, ඉදිරිපත් වෙන්නැයි කියමින් සංඝආඥාවක් ඉදිරිපත් කිරීමට සංඝයා වහන්සේලා පිරිසක් ඉදිරිපත්ව ඇති බවට අපට වාර්ථා වී ඇත.

සංඝ ආඥා එකක් නම් තිබුනේ කීකරු පූස්පැටියෙක් සේ සරත් ඊට අවනත වෙනවා ඇත.

එහෙත් එකිනෙකට වෙනස් ආඥා දෙකක් ආඥාපතිට එද්දී එතුමා කුමක් කරන්න ද?

එහෙම කල්පනා කරමින් ඉන්නා මට මරු අයිඩියා එකක් ඔය අස්සේම පහළ විය.

මතට තිත තියන්න සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? පාතාල ලෝකයට පාතාල වැඩ නවත්වන්න යැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? දූෂණය වහා නවත්වන්නැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?මේ ලියන මට රස්සාවක් අරන් දෙන්නැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? රෑ වෙලා මා ගෙදර එනවිට දොර අරින්න කියා අපේ මායියාට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?

ඔය සංඝ ආඥා නිකුත් කරන තැනක ඇඩ්‍රස් දන්නා කෙනෙක් වෙයි නම් අපේ බ්ලොග් අඩවියටත් ලියා එවන්න ය. මං වගේම අමාරු වැටී ඇති බොහෝ දෙනෙකුට මෙයින් පිහිට ලැබිය හැකි ය.

ඉස්සෙල්ලාම ජනාධිපති තුමාගෙ වැඩේ ගැන බලන්න ය. එතුමා වැටී ඇති අන්ත අසරණ තත්වය බැලුවහම මෙ වෙලාවෙ එතුමාට පිහිට වීමට ප‍්‍රමුඛත්වය දිය යුතුම ය.

ඉන්පසු අසරණ අප ගැනත් බලන්න ය.

සංඝ රත්නයට විහිළු සපයන්නන්ගේ සරණයි. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවයි.

පිරවුම්හල් අවට ඉන්නා කුමන්ත්‍රණකාරයින්ට දඩුවම් දෙනු!

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාරිභෝගික අපට කීවේ තෙල් හිගයක් ඇතිවීමේ ඉඩක් නැති බැවින් ජනතාව කලබල නොවී සිටිය යුතු බවය. එහෙත් ජනතාව එය අහන්නට සූදානම් නැත. පාරවල් බ්ලොක් කරගෙන දත්මිටිකාගෙන එක එකාගේ බෙල්ල මිරිකමින් කෑකෝගසමින් උන් පිරවුම්හලවල්වල ජවුසම් නටති.

අනේ හැබෑට කියන දෙයක් පිළිගන්නට බැරි ජාතියක්!

මට නම් හිතෙන්නේ තෙල් සේවකයින්ට ද වඩා මුන් ජාති ද්‍රෝහී බව ය. නැත්නම් මෙතරම් ලොකු සහතිකයක් දී තිබියදී රජය අපහසුතාවයට පත් කරන්නට මුන් පෝලිම්වල තෙරපෙන්නේ මන් ද?

මේ පෝලිම් දකින විට නම් පෙනෙන්නේ ආණ්ඩුව කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණය සිදුවෙමින් තියෙන බව ය. තෙල් සේවකයින් හා හරිහරියට මේ පෝලිම්වල ලගින උන්ද එකත් එකට ම මේකට හවුල් බව ය.

කුමන්ත්‍රණය පැරදවීමට හැකි එක් ක්‍රමයක් නම් රජය කියන දේ නාහා මෙසේ පිස්සු කෙලින්නන් අල්ලා හිරගෙයි දැමීම ය.

තෙල් සේවකයින්ගේ අරගලය අසාර්ථක වුවද මේ කෝලම් දකින මිනිස්සු එය සාර්ථක යයි හිතන්නට පුලුවන. ඒ නිසා මේ ගැන ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට ජාතියේ නාමයෙන් මතක් කර සිටිමු.

සෞභාග්‍යය උදාවෙමින් තිබේ. අඩුමිල බඩු මල්ලක් ජනතා අයිතියට පැවරෙයි!

ජනහිතවාදී ආණ්ඩුවක් කටයුතු කරන්නේ මේ අයුරින් යැයි පෙන්වමින් අපේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල එකවර අඩුකළේ ය. එය කළේ මොනම හෝ වාසියක්වත් බලාගෙන නොව ජනයා විදින දුක උහුලන්නට බැරි කම නිසා ය.

‍හැම මගුලකම හිලක් හොයන විරුද්ධපක්ෂය දැන් සරම් උස්සාගෙන කෑගහන්නට ඉඩ තිබේ.

ඇයි මේ හදිස්සියෙ? කොහොම ද මේ මැජික් එකකින් වගේ බඩු අඩු කරන්නෙ? බන්දුල ගුණවර්ධන කඩයක්වත් කැඩුවද? රජතුමාට පිටරටවලින් නෑදෑයෝ එවලාද ? මේ කන්න ලැබෙන්නෙ තව කොච්චර කාලෙකට ද? රට උගස් තිබ්බෙ කාට ද? උගස බේර ගන්න මේ ගමන පුලුවන් වේවිද? ඉස්සරහට මේවා ඇරියස් එක්ක අල්ලන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

ඔය ප්‍රශ්නවලින් ආණ්ඩුවට හිතවත් උදවිය සැළෙන එක නාක ය.

ඇත්තටම අඩුමිලට ලැබෙනවා නම් ඒවා ගන්නවා මිසක ඔය ඕනෑනැති ප්‍රශ්න මක්කට ද ආයුබෝවන්?

බඩුමිලත් අඩු කර ඇති වෙලාවක අරගල කරන්නෝ ජාතී ද්‍රෝහීන් මිස අන් කවුරුද?

මෙහෙම හිත උණුවන ආණ්ඩුවකට නොදී චන්දය දෙන්න කියන්නේ සරත් ‍‍‍ෆොන්සේකාට ද?

යුද්ධය අවසන් වූ පසු උතුරු නැගෙනහිර වෙරළින් පැමිණි අඩුමිල මාලු සප්පායම් වෙමින් සිටි ජනතාවට ද දැන් ඒ පිටට කදමල්ලක් ම ලැබී තිබේ.

දෙන දෙයියො ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ මේවාට ය (අඩුමිල බඩු සමූපකාරයට එනතුරු අපට බඩගිනි වෙන්න එපා! ඒක ඉල්ලන්න තිබෙන්නේ ද දෙවියන්ගෙනි. පේන්නට තියෙන විදිහට දෙවියන්ට අහක බලන්නට හේතුවක් නැත).

සීතාම්බර සළු පැළද සිටියේ යැයි සිතා සිටි රජතුමාට උඹ හෙළුවෙන් යැයි කීවේද කොලුවෙකි

බොහෝ වැඩිහිටියන්, දෙමාපියන් මෙන්ම ගුරුවරු ද සිතා ඉන්නේ ළමුන්ට වඩා බොහෝ දේ තමන් දන්නා බවයි.

ඒ නිසාම ළමයෙකු යමක් කියන්නට පටන් ගන්නා විටම එක්කෝ එය සම්පුර්ණ කිරීමටත් එයට අවවාදයකින් උපදෙසකින් නැත්නම් අවලාදයකින් හෝ අවමානයකින් සංග‍්‍රහ කිරීමටත් උන් පුරුදුව සිටිති.

විශේෂයෙන් කියන දේ නාහන එකට එක කියන්නට එන කොල්ලන් කෙල්ලන් අල්ලා දඩුවම් දීමට මහ උන්ට ඇත්තේ නොතිත් ආසාවකි. අතෝරයක් නැතිව ප‍්‍රශ්න අහන දරුවන් සම්බන්ධයෙන් ද උන්ට ඇත්තේ තරහකි.

ලොව වෙනස් කළේ කියන දෙය අහගෙන පුරුදු විදිහට වැඩ කළ උන් නොවෙ.

දැනුම ලැබෙන්නේ කියන දෙය වන පොත් කර එය වැමෑරීමෙ සමත් කමෙන් නොවෙ.

ප‍්‍රශ්න කරන අභියෝග කරන වෙනස් අදහස් දරන මිනිසුන්ගෙනි.

මෙම නිර්මාණාත්මක හැකියාව වඩාත් ඇත්තේ තමන්ගේ පටු අත්දැකීම් නිසා ඇට්ට කුණා වුනු වැඩිහිටියන් තුළ නොවෙ. ළමුන් තුළ ය.

ඒ නිසා වැඩිහිටියන් නව දේ ඉගෙන ගන්නට කැමති නම් උන් ඉගෙන ගත යුත්තේ ළමුන්ගෙනි.

එහෙත් බොහෝ වැඩිහිටියෝ තමන්ගේ විධිමත් අධ්‍යාපනය හමාර වූ පසු ඉගෙනීම අත් හරිති.

දැන් ඉතින් අපි ඉගෙන ගන්න කාලෙ ගියා!

බොහෝ රටවල වැඩිහිටියන් පොත් පත් කියවන සංස්කෘතියක් ඇති බව ඒ රටවල ඇවිද ඇති කෙනෙකුට දැක ගත හැකි ය. බස් රථය තුළ නැතිනම් දුම්රියේ යන බොහෝ අය අත පොත් තිබෙයි.

ඉගෙන ගන්නට ඇති එකම මාර්ගය පොත් නොවන බව ඇත්තකි. එහෙත් එය ද එක් වැදගත් මාධ්‍යයකි. එයට අනාවරණය වීමට අකමැති අය ප‍්‍රදර්ශනය කරන්නේ ඉගෙනීම ගැන ඔවුන් තුළ ඔඩු දුවා ඇති අදහස ය.

මගේ අදහස නම් ලංකාව හරියන්නේ වැඩිහිටියන් ඉගෙන ගත් දාට ය. ඒ සඳහා උන්ට කළ හැකි එක් වැදගත් වැඩක් නම් දරුවන් ගෙනෙන අභියෝගයන්ට පිටුපස නොහරවා ඊට මුහුණ දීම ය.

රජු සීතාම්බර සළු පට පැළඳ සිටිනවා නොව හෙළුවෙන් සිටින බව කීවෙ වැඩිහිටියන් නොවෙ. පාරෙ හිටි කොලු ගැටයෙකි.

නීතිවිද්‍යාලයේදී නාමල් රාජපක්ෂට පිරිනැමුණූ බුලත් හුරුල්ලෙ කතාව

පහුගිය දොහොක නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂ ගියේ ය. එසේ ගියේ එයට ඇතුළත් වීමෙ විභාගයට ලිවීම පිණිස ය.

නීති විද්‍යාලයේ විදුහල්පති කොළඹ සරසවියේ කුලපති තුමියට ද වඩා කට්ට ය.

ඒ නිසා එතුමා බුලත් හුරුල්ලක් දී දොර අභියසම අලුත් ශිෂ්‍යයා පිළිගත්තේ ය. එයිනුත් නොනැවතී මෙම අයැදුම් කරුට විභාගය සඳහා විශේෂ ශාලාවක් ද පිළියෙල කළේ ය. වෙනත් අවසේස කෙනෙකුට විභාග අධීක්ෂණය පැවරීමෙන් රජ කුමරුට සිදුවිය හැකි අවමානය දැක දැන අධීක්ෂණය සඳහා තේමෙම ඉදිරිපත් විය.

ඇත්තටම තවම පටන් ගත්තා පමණය. රජදරුවෙකුට ආවතේව කිරීමෙ අනුහස මෙ යයි කිව නොහැකි ය. ඒ නිසාම ඉස්සරහට තවත් හොඳ සෙල්ලම් දැකීමෙ වාසනාව අපට ලැබෙනු ඇත.

බැරිවෙලාවත් රජකුමරු තේරුණොත් පරිප්පු කන්න වෙන්නේත් නිතර නිතර ආරක්ෂක හේතුන් සඳහා ශරීරය සම්බාහනය කරගන්නට වෙන්නේත් ආයතනයේ වැඩකරන අයට හා ශිෂ්‍යයින්ට ය. විභාගය පැවැත්වූ ආකාරය අනුව එතුමා නොතේරී ඉන්න එකක් නැත.

ඇත්තටම මෙම තත්වය පිළිබඳ වගකීමෙන් අපි නාමල් රාජපක්ෂයන් නිදහස් කරමු.

මෙ එක ද සැළකිල්ලක් හෝ ඔහු ඉල්ලා ඇති බවක් වාර්ථා නොවන බැවිනි.

මෙ සියල්ල අපට පෙනෙන හැටියට විදුහල්පති සිය කැමැත්තෙන් සැදී පැහැ දී දෙන ඒවා ය.

අනේ මෙහෙමත් පුලන්නෝ!

අනේ මෙම විදුහලේ විදුහලති වී ඉන්නට අපට වාසනාව නොතිබුනේ යයි බොහෝ පරිපාලකයින් ශෝක වන බව අපි දනිමු. උන් හූල්ලන හිල්ලිලෙන් නීති විද්‍යාලයේ වහල නොගැලවී ඇත්තේ ශිෂ්‍යයින්ගේ පිනට ය.

ශිෂ්‍යයින් පමණක් නොව නීති විද්‍යාලයේ ගුරුවරුන් ද  පවු කර ඇති බව පෙනෙනු ඇත්තේ  නාමල් ඇතුළුවුනු දාක ය.

රට විහිළුවක් වී ඇත්තේ රජපවුලෙන් යයි කියතත් මට නම් හිතෙන්නේ එය සැබෑ ලෙසම සිදුව ඇත්තේ මෙ කියන විදුහල්පති වැනි බත් බැලයන් ගෙන් බව ය. රජ පවුල කරන්නේ ඉවසීමෙන් ඊට අනුග‍්‍රහ දැක්වීම ය.

නොමල ගෙයකින් අබැටක් ගේන ලෙස කීවෙ ඒ කාලයේ ය

විමල් වීරවංශ දුකින් තැවෙමින් නාමල්වතු නාහිමියන් හමුවී අවනඩුව කීවෙ ය. ඒ නන්දන ගුණතිලක කළ පාවා දීම ගැන ය. ජානිපෙ ද දෙකඩ වීම ගැන ය.

නොදරුවකු මෙන් අඩනු ද අවවාද පවා නොඅසා දිගින් දිගටම කියවනු ද තවදුරටත් ඉවසා ගනු බැරිව නාමල්වතු නාහිමියන් කළ හැක්කේ කුමක්දැයි දහ අතේ කල්පනා කළේ ය.

එක්වරම යමක් මතක් වී නාහිමියන් විමල්ට කීවෙ විමල්ගේ ප‍්‍රශ්නයට උත්තර දීම සඳහා දෙකට නොකැඩුනු පක්ෂයක සමාජිකයෙකු කෙසේ හෝ හොයා ගෙන එන ලෙස ය.

විමල් කලින් ම ගියේ ශ‍්‍රීලනිපයට ය.

පිස්සු කෙළින්නේ නැති ව මෙන්න මෙහේ වරෙන් උඹත්. ඔහොම පක්ෂ කොහෙද බං තියෙන්නෙ?

විමල් තවදුරටත් ඇඩුවෙ නැත.

BF ගේ අවවාදය ඇහුවා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැත. ඒත් තවමත් පරක්කු වැඩි නැත. විමල්ට එහෙමත් හිතුනා වන්නට පුලුවන.

සමාජිකයෙක් සෙවීම පැත්තක තබා විමල් සාමාජික අයදුම් පත‍්‍රයක් හොයා ඇවිද්දේ ය.

පක්ෂ සමාජිකත්වය ලැබීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණකි.

(විමලේ, උඹ ගෙයක් හදන්නට පටන් ගන්න මුල් ගල තිබූ බවක් අපට දැන ගන්නට ලැබුණා ය. රාවය පත‍්‍රයේ තිබූ ඒ වාර්ථාවට අනුව වර්ග අඩි 4865ක ගෙයක් නිසා වැඩෙ ලේසි වන්නේ නැත. සියලු වැටුප් පක්ෂයට දී සීගිරිය වත් බලාගන්නට නොහැකිව වැඩ කළ කාලයේ මෙන් නොව උඹගෙ අතේ දැන් නම් සල්ලි තියෙනව වන්නට පුලුවන. ගෙයක් හැදු කෙනෙක් හැටියට නොව ගෙයක් හැදූ බාස් කෙනෙකුට අත් උදව් දුන් ගොලයෙක් හැටියට මට කියන්නට ඇත්තේ ඔවැනි මාලිගාවක් නම් ලෙහෙසියෙන් ඉදිකරන්නට බැරි ය කියා ය. යාලුවාගෙන් ඇමතිකමක් වත් ඉල්ලා ගන්නට බැලුවොත් මොකද? හැබැයි පුංචි පරහක් ඇත. දැන් වගේ ඔනෑම ජරාවකට අත දාන්නට එවිට බැරි ය. ඒ තමන්ගේ වපසරිය දී ඇති අමාත්‍යංශයට සීමාවන නිසා ය. ඒ නිසා එක අතකට ඇමති කමක් නොගෙන සිටීමට උඹ ගත් තීරණය හරි වෙන්නට පුලුවන උඹ කොහොමටත් අපට වඩා බොහෝ දේවල් දන්නවා වගේ අපට දැනෙන්නේ ය.

දේශපේ‍්‍රමීන් ගැන එන්ජීඔකාරයින්ට ඇත්තේ වෛරයකි. ඊටත් වඩා ඉරිසියාවකි. ඒ නිසා ගේ හදන වැඩ පොලේ මෙහෙම බෝඩ් එකක් ගහගනින් ය.

“මෙ උත්සහය රජවන්නට නොවෙ”)

“වැරදි” විශ්වාසයක් නීතියෙන් තහනම් කළ යුතු ද?

යම් විශ්වාසයක් වැරදි නිසා හෝ එයින් අනතුරක් ඇතිවිය හැකි ඉඩ නිසා එවන් විශ්වාසයක් නීතියෙන් තහනම් කළ යුතු ද?

මෙ ප‍්‍රශ්නය මතුවූයේ පහුගිය දිනයක පැවැත්වූ අමුතු දේව මෙහෙයකදී දේව විශ්වාසය නිසා ලෙඩ සුව වෙතැයි යන පණිවුඩය අසා බෙහෙත්නොගැනීමෙන් මිය ගිය දෙදෙනෙකු පිළිබඳ වාර්ථා වීම නිසා ය.

ප‍්‍රශ්නය මතු කළේ නෙත් එෆ් එම් ගුවන් විදුලිය යි. ඒ ඔවුන් මෙහෙයවන බැලුම් ගල වැඩ සටහනෙනි.

නීතියෙන් තහනම් නොකළ ඒ විශ්වාසය බලය යොදා විනාශ කර දැමීමට භික්ෂුන් ද ඇතුළු පිරිසක් තීරණය කළ බව පසුව වාර්ථා විය. ඒ කොස්වත්තේ ක්‍රිස්තියානි ආගමේ අතුරු නිකායක දේවාස්ථානයකට වැදී කලබල ඇති කිරීමෙනි.

සර්ප විෂට සිංහල වෙදකමෙන් බෙහෙත් නැතැයි කියන්නේ බටහිර වෛද්‍යවරු ය. එහෙත් සර්පයන් කෑ අය සිංහල බෙහෙත් නිසා බේරි ඇතැයි විශ්වාස කරන්නේ ජනතාව ය.

බටහිර වෛද්‍යවරු කියන්නේ ලංකාවෙ ඉන්නා බොහෝ සර්පයින් මාරාන්තික නොවන බව ය. ඒ නිසා මේ හොද වෙනවා යයි කියන්නේ නැති අසනීපයකි. විස සර්පයෙක් දෂ්ඨ කළොත් ඒ බෙහෙත් වැඩ කරන්නේ නැත. ඊළග ලෝකයට ටිකට් ඇදෙනවා සිකුරු ය. සිංහල වෙදකමින් හරි ගියේ නැතැයි කියමින් සර්පයන් දෂ්ඨ කළ ලෙඩ්ඩු ඉස්පිරිතාලයට ගෙනෙන බොහෝ විට සිදුවිය යුතු හරිය සිදුවී හමාර ය. කෙළින්ම ඉස්පිරිතාලෙට ගෙනාවා නම් ගෙදර යාමට හැකියාව තිබූ රෝගියාට ඒ වෙනුවට යන්නට සිදුවන්නේ පරලොවට ය. සිංහල වෙදකමින් අත් වන සෙතය නම් සර්පයා කෑම නිසා ඇතිවන ගැස්ම පමණක් බෙහෙත් පිළිබඳ විශ්වාසය නිසා අඩුවීම ය.

ඉතින් මෙම විශ්වාසය නීතියෙන් තහනම් කළ යුතු ද නැතිනම් මෙ පිළිබඳ දැනුම් දී ජනතාව තුළ අවබෝධය ඇති කළ යුතු ද?

බටහිර පිළිකුල් කරන අය මේ බටහිර වෛද්‍යවරුන් බඩ රස්සාව සදහා ගොතා ඇති කෙප්පයකැයි කිව හැකි ය. ප්‍රශ්නය මතුවන්නේ එතැන දී ය. මේ විශ්වාසය හරි ද වැරදි ද යන්න නිගමනය කළ හැක්කේ කාට ද? සමහර විශ්වාසයන්ගේ හරි වැරැද්ද කිව නොහැකි තරමට විවාදාත්මක ය.

හතර කේන්දරේම පාලුනිසා ළමුන් මහණ කරන්නේ කේන්දර පිළිබඳ විශ්වාසයක් ඇති නිසා ය. අහවල් දරුවාගෙන් තමන්ට අපල යයි දැනගත් විට දරුවා පිට කර හරින්නේ ද විශ්වාසය නිසා ය.

කේන්දර ඔප්පු කර නැති නිසා මෙම ව්‍යාසන දෙකින් දරුවන් ගලවා ගනු වස් අපට කේන්දර තහනම් කළ හැකි ද?

අප අතර අප මෙසේ සඳහන් කළ මෙන්ම නොකළ විශ්වාස ද බොහෝමයක් තිබේ. ඒ නිසා ජනතාවට පාඩු විඳින්නට වූ අවස්ථා බොහෝමයක් ද තිබේ. ඒ පාඩුව සමහරු කර්මයට බැර කරන නිසා නිශ්චය ලෙසම එසේ පාඩුවක් වූවා ද යන තර්කය නැවත නැවතත් නැගිය හැකි ය.

එහෙත් ජනතාව අතර මේ විශ්වාසයන් පිළිබඳව සංවාදයක් අරඹන්නේ නැතිව එක්කෝ නීතියේ බලයෙන් නැත්නම් බාහුවේ බලයෙන් මෙම ව්‍යාසනයන් කර අඹා පාලනය කිරීම හරහා ඒවා සමාජයෙන් තුරන් කළ හැකි ද?

විශ්වාසයක් හරි ද වැරදි ද යන තීරණය ගත යුත්තේ කවුද?

ආණ්ඩුව ද පොලීසිය ද නැත්නම් ගමේ චණ්ඩීන් ද?

ආණ්ඩුව නම් ඇමති වරු ද පාර්ලිමේන්තුව ද පොලීසිය නම් ඒ ඕඅයිසී ද එස් එස් පී ද ගමේ චණ්ඩින් නම් කසිප්පු පෙරන එකා ද නැත්නම් අයි ආර් සී කාරයා ද?

මෙවැනි උත්තර නැති ප‍්‍රශ්න රාශියක් නීතිය යොදා මේවා යටපත් කිරීම සම්බන්ධයෙන් නැගිය හැකි ය. එය එසේ තිබිය දී නීතිය ද ඉක්මවා මේවා බාහු බලයෙන් යටපත් කිරීමේ ප‍්‍රයත්නය අප දැකිය යුත්තේ කෙසේ ද?

විචාර බුද්ධිය මෙහෙයවන්නේ නැති රටකට දෙවියන්ගේ පිහිටවත් ලැබිය නොහැකි ය.

ආයතනවලට අරක් ගෙන ඇති මුර බල්ලෝ

බොහෝ ආයතන මුර කිරීමට බාර දී ඇති අය විසින් එම ආයතනවලට එන්නන් නැවත නොඑන බවට වග බලාගන්නා ආකාරයක් දකින්නට පුලුවන.

පිරිමි ආරක්ෂක නිලධාරීන්ගේ අනවශ්‍ය සම්මුඛ පරීක්ෂණයන්ට කාන්තාවන්ට මුහුණ දීමට සිදුවීම එහි එක් වැඩපිළිවෙලකි. මෙසේ කරන්නේ ඇතැම් මුර බල්ලන් තුළ ඇති පරපීඩක ලිංගික ආසාවන් නිසා ය. සිදුවන්නේ මානසිකව වැට්ටවීමෙන් පහත් ‍විනෝදයක් ලැබීම ය.

ඊළග උපාය වන්නේ කොතරම් ඉඩ තිබුන ද වාහන එලියේ නවත්වන ලෙස දෙන උපදෙස් ය. ලොක්කෙකුට පාට් එකක් දමන්නට එය හොද අවස්ථාවකි.

තවත් තැන්වල ජාතික හැදුනුම්පත ලබා ගෙන ආයතනික හැදුනුම්පතක් නිකුත් කරන්නේ කෝපය ඉහ වහා යන තුරු මිනිසුන් රදවා ගන්නා ගමන් ය. ලොක්කන්නට ගණන් දාන්නට හයියක් නැති උන්ට එයත් ලොකු දෙයකි.

තවත් විටෙක එනවිට තම හැදුනුම්පත වෙන කෙනෙකු විසින් රැගෙන ගිය අවස්ථා ඇති නිසා මිනිසුන්ට නැවත තමන්ගේ නියමිත හැදුනුම්පත් ලබා ගැනීමට රස්තියාදු වීමට සිදුවේ. කලින් සියල්ල හිතාමතා කරන ඒවා වන මුත් මෙය හිතාමතා වැඩ කිරීම මගහැරිමෙන් වන ඇබැද්දියකි.

(හිතාමතා කරන්නේ නොකළ යුතු වැඩ ය. හිතන්නේ නැතිව කරන්නේ හිතාමතා කළ යුතු වැඩ ය.)

සමහර විට හොද්ද බොර කර ගැනීමේ අභිලාෂයෙන් තහනම් නියෝග පනවන අවස්ථා ද එමට ය. එසේ කරන්නේ ආයතනයට සේවා සපයන ආයතන වලට ය. මුර බල්ලන් එක්ක ඔට්ටු වෙනවාට වඩා උන්ව මොන හරි ක්‍රමයකින් සාක්කුවට දා ගැනීමෙන් ප්‍රශ්නය විසදන්නට සමහරු ඉදිරිපත් වෙති. මේ ගන්නේ එහි වාසියයි. නැතිනම් සිදුවන්නේ හැතැම්ප ගණනක් ඈතින් බඩු බාගෙන ඒවා කර තියාගෙන යෑමට ය.

බොහෝ විට මුර බල්ලන් කරන මේ හිරිහැරය ආයතනයේ සමහරුන්ගේ අමන්දානන්දයට ද හේතු වෙයි. ඒ පිට අයට වඩා සුවිශේෂ ලෙස තමන්ට කරන සැළකිල්‍‍ලෙන් සාමාන්‍යයෙන් නොලබන වැදගත් කමක් උන්ට දැනෙන බැවිනි.

මේ මුර බල්ලෝ බොහෝවිට ප්‍රදර්ශනය කරන්නේ ආයතන ප්‍රධානියාගේ හැටි ස්වභාව යයි. සමහර විට ආයතන ප්‍රධානියා නෝන්ජල් වුනහම මුර බල්ලෝ රජ වෙති. තවත් සමහර විට ආයතන ප්‍රධානීන් තමන්ගේ රැස්පොට් එක පෙන්නන්නට මෙවැනි මුර බල්ලන්ම තෝරා සේවයේ යොදවන අවස්ථා ද ඇත.

ආයතනයට එන කෙනෙකුට මුලින් ම මුලිච්චි වන්නේ මේ අසංවර පිරිස නිසාම ආයතනයට පිවිසෙන්නටත් පෙර මිනිසුන්ගේ ආවේග අවුස්සා උන් නොමිනිසුන් කර ආයතනය ඇතුළට ගැනීමට මේ නිසා ඉඩකඩ සැලසී ඇත. එහෙත් කර ගන්නට ආ වැඩය කර ගෙන ආපසු යනවා විනා ආයතන හදන්නට හදිසියේ එන මේ මිනිසුන්ට ගායක් නැත.

එහෙම වුවමනාවක් තිබුන ද මේ ආයතන හදන්නට ද බැරි ය.

ජනතා සේවයක් සැළසීමට වුවමනා ආයතනවල ප්‍රධානීන්ට අප කියන්නේ මේ බල්ලන් බැද තබන ලෙස ය. කකුල් හතරේ බල්ලන්ගෙන් ද අඩුවක් නැති අපේ ආයතනවල ඊට වැඩිමනත් ලෙස කකුළ් දෙකේ බල්ලන් ද සිටීමෙන් පෙන්වන්නේ අපට උරුමව ඇති ආයතනික ජීවිතයේ ශෝචනීයත්ව ය.

(හැම ආරක්ෂක සේවාවක්ම මෙහෙම නැත. සමහර ආයතනවල ආරක්ෂක සේවය අභියෝගාත්මකය. හරියට අතුරෙ යනවා වැනි ය. සමහර වෙලාවට කරලාත් බැරි නොකරාත් බැරි වැඩ තිබෙ. අප කියන්නේ අතලොස්සක් එවන් අවස්ථාවලින් පිටින් ඇති මුර සේවාවන් හා ආයතන සම්බන්ධයෙනි. අනෙත් අතට මෙම තත්වයට ප‍්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ආයතන ප‍්‍රධානීන් මිසක මෙසේ හැසිරෙන්නන් නම් නොවෙ.)

පාරෙ දොරෙ ගලන්නේ ඇතුළත හිස් මිනිසුන්ගේ අධිමානය ද?

වාහනවල පිටුපස ස්ටිකර් ඇලවීම මෝස්තරයකි. තමන් අහවල් විදුහලට අහවල් වෘත්තීය සංවිධානයට අහවල් ආගමට සම්බන්ධ බව ආඩම්බරයෙන් සටහන් කිරීමට එමගින් මෙම වාහන අයිතිකරුවන්ට හැකියාව ලැබී තිබෙ.

එහෙත් මෙම ස්ටිකර් අලවාගෙන ඔවුන් පදින පැදිල්ලෙන් වන්නේ ඔවුන් අයිතියයි කියන පාසල හෝ සංවිධානය තුට්ටු දෙකට වැටීම ය.

පාරෙ යන එන අයට පාරෙ යන අනෙකුත් වාහනවලට සංවෙදී වන්නට නොහැකි නම් කළ යුතු හොදම දෙය තමන් ආඩම්බරයෙන් අලවා ගෙන යන ස්ටිකරයේ සඳහන් ආයතනයට අවනම්බුවක් නොවන ලෙස මෙම ස්ටිකර් ගලවා ඉවත් කිරීම ය. අඩුවශයෙන් රියැදුරා කිච වුවත් ආයතනයේ නම්බුවවත් ඉන් ඉතිරිවන්නේ ය.

දැන්වන්නේ දෙකම එකවර කිච වීම ය.

ආයතන ද මෙම ස්ටිකර් විකිණීමට පෙර ආයතනයේ නම්බුව රැකිය හැකිදැයි හගිස්සවා දැන ගත යුතු ය. අපේක්ෂාව ස්ටිකර විකුණා කීයක් හරි හොයා ගැනීම පමණක් නම් ඉතින් එච්චර කරදර නොවුනාට කමක් නැත.

ඒ වුනත් ඒ වෙළඳාමෙන් ලැබෙන සුළු වාසියට වඩා විශාල පාඩුවක් ඔවුන් තම කීර්ති නාමයට ඇති කර ගන්නේ ය.

පාරෙ විනය හැදෙන්නේ නම් රටෙ විනය ද හැදෙන්නේ ය. ඒ සඳහා මෙම ව්‍යපෘතිවලින් ලද හැකි අනුග‍්‍රහයක් අප ලබා ගත යුතු ය.

අප කලින් බ්ලොග් සටහනක ද දැක්වූ පරිදි ඇතුළත අභිමානයෙන් පෙළෙන මිනිසුන් පිටතට පෙන්වන්නේ නිහතමානය යි. ඒත් ස්ටිකර් අලවන බොහෝ දෙනෙක් ඇතුළත හීනමානයෙන් පෙළෙන ඒ නිසාම පිටතට අධිමානය ප‍්‍රදර්ශනය කරන්නවුන් දැයි උන්ගේ වැඩ වලින් අපට සැකයක්ම ඇතිවෙ.

අපි කං කං බූරු සිං සිං ඤෝරු සෙල්ලම කරමු

පහුගිය දොහේ අපේ බ්ලොග් අඩවියට ලැබුණු ප‍්‍රතිචාරවලින් අපට පෙනී ගියේ පුංචි කාලේ අප කළ සෙල්ලම් අතුරින් බොහෝ දෙනා කැමති කන් කන් බූරු සෙල්ලමට බව ය.

ඇත්තටම එතරම් පහසු ගේමක් තුන් ලෝකයේම නැත.

ආණ්ඩුව කම් කම් බූරු කියූ විට අපට කියන්න තියෙන්නේ සිං සිංඤෝරු කියා ය.

කම් කම් බූරු කියන එකේ තේරුම හැමෝම දන්නා නිසා සිං සිං ඤෝරු පමණක් තේරුම් කර දීම සෑහේ. එයින් කියන්නේ මෙ එනවා සෑර් මොනවද කරන්න තියෙන්නේ කියා ය.

ඊට පස්සේ තියෙන්නේ දුවලා දුවලා ගිහිල්ලා කියන දෙයක් කර එන එක ය.

ඇත්තටම මෙ ගේම් එක හරිම ආතල් ය. ඒ වගේම සිම්පල් ය.

හිතන්න දෙයක් ඇත්තේම නැති තරම් ය. පුලුවන් තරම් ඉක්මණට කියන දෙය කරා නම් හරි ය.

දේශීය ක‍්‍රීඩාවක් නිසා ජාතික සංස්කෘතිය ද රැකෙන්නේ ය.

ඒ නිසාම සුද්දාගේ මනස්ගාත ඔලුවට එන්නේ ද නැත.

ඇමරිකාවෙත් ඔස්ට‍්‍රියාවෙත් ඔහොම දැයි අහන අයට කියන්න තියෙන්නේ ඔනෑ නම් ග‍්‍රීන් කාඩ් අරගෙන අපට වද නොදී චුත වෙන ලෙස ය.

කෙළිදෙලෙන් වෙසෙන අපේ රට මුලු ආසියාවෙම සතුටින් සිටින ජනතාවගේ රට බව කීවෙද අපට එරෙහිව කුමන්ත‍්‍රණ කරන සුද්දන් ය. උන්ගේ එන්ජීඔ හැති කරය ය. උන්ට තියෙන්නේ කං කං බූරු ඉගෙන ගෙන ඒ රටවල ද අත්හදා බලන්න ය. නැතිව අපට විරුද්ධව කුමන්ත‍්‍රණ කිරීමෙන් අත්වන සෙතේ කුමක් ද?

කං කං බූරු කරලා මහන්සිවුනහම තියෙන්නේ රටෙ සංවර්ධනය සිදුවන හැටි අපට පෙන්වන රූපවාහිනියක් දිහා බලලා නිදා ගන්න ය. ඒ හෙටත් කං කං බූරු කරන්නට උදෑසනම නැගිටිය යුතු නිසා ය.

කං කං බූරු කෙළියට සෙට් වෙන්න අපත් තීරණය කළ නිසා ඔබෙන් මෙසේ සමුගනිමු.

« Older entries