Beyondframe බ්ලොග් අඩවියට අදට මාස 6 කි.

Posted on April 10, 2009



Beyondframe බ්ලොග් අඩවියට අදට මාස 6 කි. ඒ වකවානුව තුළ බ්ලොග් සටහන් දෙසිය දහහතරක් අප විසින් ලියා තිබේ.
අප බැහැ දැකීමට පැමිණි අමුත්තන් ගණන තිස්දහස ඉක්මවයි. ප‍්‍රතිචාර දැක්වූ වාරගණන එක්දහස් හාරසියයකි. සමහරු අප සමග රැඳුනු අතර බොහෝ දෙනෙක් අප අතැර ගියෝය. එය අපි අපේක්ෂා කළෙමු.
දැන් මේ අඩවියට තාවකාලික විරාමයක් දෙන්නට වෙලාවයි.
ඔබ බැහැ දැකීමට එන්නට නියමිත යයි අප කියූ අමුත්තා ඔබේ ගේ දොරකඩට ම පැමිණ ඇත. ඒ සමාජ දේශපාලනික හා ආර්ථික අර්බුදයයි.
අප දිගින් දිගට ඒ ආගමනය ගැන සැළකර සිටියේ ඔබ යමක් කරනු ඇතැයි විශ්වාසයෙන් නොවෙතත් කරන්නට අපට යමක් ඉතිරිව තිබුයේ යයි විශ්වාසයෙන් නෙවෙතත් අපට පෙනෙන දේ කීම යුතුකමක් යයි සැළකූ නිසා ය.
එය පිළිගත්තේ ටික දෙනෙකි. දැන් ඉතිරි අයට ද එහි වරුණ බලා ගත හැකි ය. එදාවේල ටුවර්ස් ආණ්ඩුව දැන් අසරණ ව සිටී. එහෙත් හොස්ස බිම ඇනෙන තුරු එ බව පිළිගන්නේ නම් නැත. බොහෝ බැංකු කළමනාකරුවන්හට තම ගනුදෙනු කරුවන්ට දෙන්නට සල්ලි නොමැතිවීම හේතුවෙන් එහේ මෙහේ දුවනු අප ඊයේ පෙරේදා දැක්කෙමු.
කස කාරයාගේ සද්දෙන් පෙරහැර එන බව අඳුනා ගැනීමට බැරි වූ අයට එය දැන් සියැසින් දැක බලා ගත හැකි ය.
අලූතෙන් සටහන් නොදැම්මත් පරණ සටහන් නැවත නැවතත් බැලීමට ටික දෙනෙක් හෝ පැමිණෙනු ඇතැයි විශ්වාස ය, අප ලියූ දෑ වඩාත් තීව‍්‍රව දැනෙනු ඇත්තේ අදටද වඩා අනාගතයේ දී ය.
මේ බ්ලොග් අඩවියට අවසන් තිත නොවේ.
වෙනදා මෙන් නිති පතා නොපැමිණෙන බව දැනුම් දුන්නා පමණකි.
අලූතෙන් යමක් කියන්නට තිබුනොත් නැවත කට අරින්නට අප පැකිළෙන්නේ නැති බව සහෘදයින්ට කියා සිටීමට ද කැමැත්තෙමු.
අවුල් කර ගත් නූල් බෝලය ලිහාගන්නේ කෙසේදැයි අපි දැනට බලා සිටිමු. මෙතෙක් නූල් බෝලය අවුලූ කරන්නට උඩ ගෙඩි දුන් අය කෙසේ ප‍්‍රතික‍්‍රියා දක්වනු ඇත්දැයි දැක බලා ගැනීමට අපි වඩාත් කැමැත්තෙන් සිටිමු.

Posted in: Uncategorized