මචං ලා replace කළ අයියලා මල්ලිලා

Posted on April 9, 2009



අපේ කාලේ සරසවියේ ඉහළ වසරේ උදවියටයි පහළ වසරේ උදවියටයි දෙගොල්ලන්ටම අපි කිව්වෙ මචං කියල. දැන් ඉහළ වසරෙ ඉන්නෙ අයියලා. පහළ වසරෙ ඉන්නෙ මල්ලිලා.

මචං වුනහම පොඩි සමානත්වයක් තියෙනව. අයියල මල්ලිලා වුනහම පොඩි දුරක් තියෙනව. අයියලට ගෞරව කරන්න එපායැ. බය පක්ෂපාතකමක් දක්වන්න එපායැ. අවනත වෙන්න එපායැ. මල්ලිලා වුනහම ඉතින් පොඞ්ඩක් සෙකන්ඞ් ක්ලාස් වගේ ඉන්න එපායැ.

එක පාරක් අයිය වුනහම ජීවිතේ තියනකම් අයිය. දවසක් අයියෙ කියලා කතා කරපු හාල් පාරුවෙකුට මල්ලියි කියල කතා කරන්න පුලූවන් ද? ඒ නිසා මේ හදාගන්න දුර ජිවිතේ දිගටමත් ගෙනියනව.

අයිය කියල කියන්න පුලූවන් වෙන්නෙ යම් පමණකට සුහදත්වයක් සෙනෙහසක් පළ කරන කෙනෙකුට වුනත් ඉහළ වසරේ හැම හාල් පාරුවෙකුටම අයිය කියන්න සිදුවීමට ටිකක් අපුල දනවන කාරණයක් නොවේ ද?

හැබැයි බොහෝ දෙනෙක් මේකට හරී ආසයි. කට්ටියකට අයිය කියන්න වුනත්, එහෙම කියල අවනත භාවය ප‍්‍රදර්ශනය කරන්න වුනත්, තමන්ටත් කට පුරා අයිය කියන්න පිරිසකුත් ඒකත් එක්ක හැදෙනවනෙ.

මචං ගේ සිට අයිය-මල්ලි දක්වා වූ පරිවර්ථනයත් රටේ සිදුවන ජාතික චින්තන පෙරළියට සමගාමීව සිදුවුනා වන්නට පුලූවන්.

ඒත් එකිනෙකාට මචං කියපු අපිට, මේ අයිය මල්ලි සම්බන්ධය බල සම්බන්ධයක් හැටියටයි පේන්නේ. අනවශ්‍ය දෙයක් හැටියටයි දැනෙන්නෙ.
අපි හැම අතින්ම පසුගාමීත්වය කරා යන බවකුයි මේ සියල්ලෙන් පේන්න තියෙන්නෙ.

Posted in: Uncategorized