දැන් ඉතින් රට ගොඩ නගන එක හෙට ඉර පායනවාටත් වඩා ෂුවර් ය

Posted on February 5, 2009



සියල්ල හරිය. දැන් ඇත්තේ එලු පාවඩ දිගේ ලංකාවට එන එක ය.

මේ ආරාධනය ලංකාවෙන් පිටව ගිය දේශපේ‍්‍රමී ලාංකිකයන්ට ය. ආරාධනය කරන්නේ සුලූපටු කෙනෙකු නොවේ. ඔටුනු නොපලන් රජුය. සතුරන් නසා ලංකාව එක සේසත් කළ ලංකාවේ වර්ථමාන නරපතියා ය.

මිහින් එයාවලටවත් මේ ආරාධනය පිළිගෙන හෙට අනිද්දා ලංකාවට වැල නොකැඞී එන පිරිස ගෙන ඒමට නොහැකි වනු ඇත. තව ගුවන් සේවා ගණනාවකගේ පිහිට අපට අවශ්‍ය වනු නොඅනුමාන ය. ඊයේ අභිමානවත් නිදහස් දිනය නැරඹු ශ‍්‍රී ලාංකිකයන් කිසි කෙනෙක් මේ ආරාධනයට පිටු නොපාන බවට අපට සහතික බැවිනි.

සමහරවිට හෙට අනිද්දා ගොඩ බැසීමට නියමිත ගුවන් යානා ගොඩ බැසීම පිණිස එක්කෝ හම්බන්තොට ගුවන් තොටුපොල ඉක්මනින් විවෘත කිරීමට හෝ කටුනායක ගුවන් තොටුපොලේ අමතර ගුවන් පථ කීපයක් කඩිනමින් ඉදිකිරීමට හෝ සිදුවනු ඇත.

එල්ටීටිය සහමුලින් පාහේ අහවර කර ඇති නිසා එයින් බැට කෑ දෙමල ජනතාව මේ පෝලිමේ මුලින් ම සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඊළගට සිටින්නට වඩාත්ම ඉඩ ඇත්තේ පටු දේශපාලන වුවමනාවන් නිසා බැට කෑමෙන් විදේශ ගත වූ සිංහල ජනතාව ය. සියලූම පටු දේශපාලන න්‍යාය පත‍්‍රයන් රටේ සුභ සිද්ධිය පතා අකුලා දමා ඇති තත්වයක් තුළ ඔවුන්ට ලංකාවට පැමිණෙන තෙක් ඉවසුමක් නැතිව සිටිනවා විය යුතු ය.

තෙවනුව සිටින්නට ඉඩ ඇත්තේ වර්ථමානයේ ආණ්ඩුව විසින් දියත් කර ඇති යෝධ ආර්ථික වැඩපිළිවෙල නිසා මතු වී ඇති ව්‍යාපාරික අවස්ථාවන් ප‍්‍රයෝජන ගැනීමට හැකි වෙතැයි සිතන ව්‍යවාසකයින් ය. ලෝක ආර්ථික අර්බුදය හමුවේ වෙන රටවල මිලිනව යන අවස්ථාවන් නිසා මේ අවස්ථාව පිළිබඳව ඔවුන් අති මහත් බලාපොරොත්තු ඇතිව සිටිනවා නොඅනුමාන ය.

සිව්වෙනුව එල්ලවූ මර්දනය නිසා රට හැර ගිය විවිධ මතධාරීන් හා මාධ්‍ය වේදීන් ය.

ලයිස්තුව දිග ය. ලියා නිම කළ නොහැකි ය. අවශ්‍ය වන්නේ එන අයගේ හැඩ රුව දැන ගැනීමටත් වඩා ඔවුන් පිළිගැනීමට ලක ලෑස්ති වීම ය.

මේ දේශහිතෙශීන් පිළිගැනීම සඳහා ද ඔවුන් රටේ අභිවෘද්ධිය සඳහා පැමිණීම අගය කරනු සඳහා ද ආණ්ඩුව සමග එක්වීම අපගේ යුතුකම ය. ඒ නිසා මේ ආරාධනය ඔබට ය. ඒ හෙට සිට කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ කරා දිවෙන මාර්ගය මලින් සරසා මල් දම් ඇතිව අපෙන් වියෝව ගිය දැන් එක්වීමට පුල පුලා බලා සිටින මේ කට්ටිය පිළිගන්නට එහි පේලි ගැසෙන ලෙස ය.

දැන් ඉතින් රට ගොඩ නගන එක හෙට ඉර පායනවාටත් වඩා ෂුවර් ය.

Posted in: Uncategorized