ලංකාව ලෝකයට හඳුන්වාදීමට සුදුසු නමක් – tag line එකක්

Posted on August 28, 2009



ලංකාව ලෝකයට හඳුන්වාදීමට සුදුසු නමක් සෙවීමේ කාර්යයේ මේ දිනවල අපේ කට්ටිය යෙදී සිටිති.

සුදුසු නමක් යෝජනා කරන ලෙස ඉල්ලා සංචාරක අමාත්‍යංශය නොබෝදා ජනතාවගෙන් ආයාචනයක් ද කර තිබිණි. අපිදු ඒ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන්නට මෙම උත්සහයට කිසියම් අනුග‍්‍රහයක් දක්වන්නට සිතුවෙමු.

“වෙන කොහේවත් නැත මෙහෙම කොදෙව්වක්” එක් යුගයක අපේ රට හඳුන්වාදීමේ පාඨය විය. ඇත්තටම එය සනාථ කරන්නට අපි හැසිරුනෙමු. හැම බ්ලොග් කඩමාල්ලක්ම මේ නම විහිලුවට ගෙන සටහන් ලියන්නට පටන් ගත්තෙන් අලුත් නමක් හොයන්නට කට්ටියට සිදුවිය.

ඊට පසු මිලියන 18 ක් ගෙවා බොහෝ උත්කර්ශවත් ලෙස හඳුන්වාදීමේ අලුත් පාඨයක් ගොඩ නගා යොදා ගන්නා ලදී.  එයින් කියවුනේ පුංචි විශ්මය කියා ය.

එහෙත් අපේ රටේ පොඩි වැඩ කරන අය නැත. මෙය ලෝකෙන් උතුම්ම රට ය. ඒ නිසා කට්ටියට මේ නම දිරවා ගත නොහැකි විය. දැන් සොයමින් සිටින්නේ මීට වඩා ටිකක් හයිය නමක් ය.

ලොකුම විහිලුව කියා දමන්නට පුලුවන. විහිලු දැකීමට කැමති අය මෙහි එන්නට පුලුවන් නිසා ය. විහිලු සැපයීමේ අවසානයක් නැති තරමට ජනතාවට විහිලු සපයන පාලකයින්ගෙන් අපට අඩුවක් නැති නිසා එය නොගැලපෙන්නේ ද නැත.

ලොකුම අනාථ කඳවුර කියා දමන්නට ද පුලුවන. ඒ උතුරේ සහෝදර ජනතාව වැඩි දෙනෙක් අනාථ කඳවුරු වල සිටින නිසා ම නොවේ. අප බොහෝ දෙනෙක් ද අනාථව ඇති නිසා ය. එහෙත් අනාථ කඳවුරු බලන්නට එන්ජීඕ කාරයෝ ඇරුණහම එන කෙනෙක් නැත. උන් කොහොමටත් අපට අරහන් නිසා ඒ නමින් කාරි නැත.

ලොකුම සොමිය කියා දමන්නට ද පුලුවන. මෙහෙම සොමියක් ඇති රටක් නැති බැවිනි. වැරදි කර නිදහසේ ඉන්නට පුලුවන. හදිසියේ රක්ෂිත බන්ධනාගාර ගතවුවත් ගෙවන වාට්ටුවක නවතින්නට පුලුවන. මුකුත් නොකර මාසේ අන්තිමට පඩි ගන්නට පුලුවන. මෙහෙව් සොමි දේශයක් තිබිය හැක්කේ කොහි ද? ඒ නමේ නම් පොඩි ජොලියක් තිබෙන්නට පුලුවන. එහෙත් අප සොයන්නේ පොඩි එකක් නොවේ. ටිකක් ලොකු එකකි.

ලොකුම කැබිනට්ටුව කියා ඕනෑනම් නම් කළ හැකි ය. එය ආකර්ෂණීය නොවේ නම් ඇබෑර්තු ඇත කියා අගට එක්කළ හැකි ය. පළමුව වැන්න වැඩ කළේ නැත්නම් අතුරු පාඨය වැඩ කරන්නට ඉඩ තිබෙන බැවිනි.

ලොකුම බොරුව කියා ද නම් කළ හැකි ය. බොහෝ රටවල නැති නිසා එවැන්නක් දැකීමේ ආසාවක් සංචාරකයින්ට වුව ඇති විය හැකි ය.

ලොකුම හීනය කියා දමන්නට ද පුලුවන. හීන දකින අය දවල් පවා හීන දකින අය ඉන්නා රටක් නිසා ඒක ටිකක් හරියන්නට පුලුවන.

ඒ වුනාට හයියට එකක් තාම ලැබුනේ නැත . ඔබ ළග මීට වඩා හොඳ නම් තිබෙන්නට පුලුවන. එකක් මතක් වුනොත් මෙහෙටත් එවන්නට පුලුවන් ය.

හරි නමක් ලැබුනොත් ඒක එලාගෙන බුදියගන්නවත් බැරියැ සද්ද කොරන එක නවත්තලා. මෙ බ්ලොග් කඩ මාල්ල පවත්වාගෙන ගිහිල්ල දැන් හොඳටෝම මහන්සිත් නෙවැ.

Posted in: Uncategorized