Beyond Frame නැමැති විජාතිවාදියා

Posted on February 8, 2009



ඉහත හෙඩිමෙන් මේ බ්ලොග් අඩවිය පතුරු ගසමින් තවත් බ්ලොග් අඩවියක ලියු සටහනක් තිබිණි. ඒ ගැන මුනිවත රකින්නට මුලදී සිතුවේ එහි සඳහන් බොරු නිසා ය. බොරුවට නිදාගන්නන් ඇහැරවන්නට බැරිය. ඒ ආකාරයෙන්ම හිතාමතා බොරු පැලකරන්නන් සමග වාදයට යාම ද නිරර්ථකය. ඔවුන්ගේ සිත් ඉගෙනීමට විවෘත නැති බැවිනි. ඔවුන්ගේ අභිප‍්‍රාය හොඳින් නැත්නම් නරකින් දිනීම ය. එවන් තැනක සංවාදයක් නැත. ඇත්තේ අදහස් අමු අමුවේ මර්දනය කිරීමකි.

පළමුව එම සටහනේ පමණක් නොව ඊට ඌණ පුර්ණයන් ලියු ප‍්‍රතිචාර වල ද තිබුනු මූලිකම බොරුව හඳුන්වා දිය යුතු ය. ඒ Beyondframe තමන්ට විරුද්ධ පළ කෙරෙන කමෙන්ට් මකන බ්ලොග් අඩවියක් බව ය මේ ගැන අපගේ බ්ලොග් අඩවියට නිතර පිවිසෙන අයට නම් නැවත පැහැදිලි කළ යුතු නැත.

අප දෙවර්ගයක බ්ලොග් comments මකන බව ඇත්ත ය. එකක් කුණුහරුප ය. අනෙක වෙන අයට අපහාස වන පරිදි පළ කරන ප‍්‍රතිචාරයන් ය.

ඉතිරි සියලූ ඒවා මෙහි පළ කර ඇත. තමන්ගේ ප‍්‍රතිචාර පළ නොකළැයි චෝදනා කරන අයගේ ප‍්‍රතිචාර ද මෙහි පළ වී ඇති අයුරු මේ බ්ලොග් අඩවියට පිවිසෙන කෙනෙකුට බලා ගත හැකි ය.

අප මුනිවත රැකීමට තීරණය කළ දෙවැනි හේතුව නම් එම සටහනේම කියා තිබූ පරිදි හා ප‍්‍රතිචාර බොහෝමයක තිබු පරිදි ඔවුන් බලා සිටින්නේ අප අල්ලා විනාශ කරන්නට ය. එවන් අය සමග සංවාදයක් කළ නොහැකි ය.

නිශ්ශබ්දතාවය කළ යුතු හොඳම දේ වුවද මේ බ්ලොග් සටහන නිසා අතිශය වැදගත් කාරණයක් මතු වෙයි. ඒ නිසාම ප‍්‍රතිචාරයක් කිරීම මනා යයි අපි දෙවනුව සිතුවෙමු.

Beyondframe අඩවියට ගොඩවදින අමුත්තන් ගණන සාමාන්‍යයෙන් 150ත් 200ත් අතර ය. ලංකාවේ ජනගහණය සැලකූ කළ එය නොගිණිය හැකි ගණනකි.

රාජ්‍ය මාධ්‍යද හීලෑ කරගත් පුද්ගලික මාධ්‍යද හීලැ කරගත් මාධ්‍ය වේදීන් ද බිය වැද්දීමෙන් පන්නා දමා නිදහස් කර ගත් මාධ්‍යද ඇතුලූ අතිමහත් මාධ්‍ය කන්දරාවක් තමන් වෙත නතු කර ගෙන තිබියදී ද පොලීසිය විධායකය හා ව්‍යවස්ථාදායකය ඇතුලූ සියලූ බලයෙන් සන්නද්ධ වී තිබියදී ද ජයග‍්‍රහණයේ සියලූ වාසි භුක්ති විඳිමින්ම ඒ වටා අතිවිශාල ජනතාවක් තමන් වටා ගොනු කර ගෙන තිබීයදී ද මෙවැනි පුංචි බ්ලොග් අඩවියක් ගැන මේ උදවිය මෙතරම් බයෙන් ගැහෙන්නේ ඇයි ද යන්න අප මේ සටහනෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ප‍්‍රශ්නයයි.

ඒ හරහා ඔබේ බුද්ධිමණ්ඩලය ආමන්ත‍්‍රණය කරන්නට ලැබුණු මේ මහගු අවස්ථාව භාවිත කළ යුතු යයි අපට සිතුන බැවින් අපි අප ගත් මුල් තීරණය වෙනස් කොට මේ බ්ලොග් සටහන තැබුවෙමු.

සමහර අවස්ථාවල ප‍්‍රශ්නවලට උත්තර දෙනවාට වඩා හිතන්නට ප‍්‍රශ්න නැගීම හොඳ යයි මා අසා තිබේ. ඒ නිසා ප‍්‍රශ්නය පමණක් නගා උත්තර අපේක්ෂාවෙන් නිහඩ වෙමි.

Posted in: Uncategorized