දමා ගැසිය හැකි අවසන් ආයුධය මුණ ගැසීමේ ප‍්‍රීතිය

Posted on November 26, 2008



බලා සිටියේ මේ මොහොත උදාවන තුරු ය. උඩ පැන ප‍්‍රීතියෙන් කෑගසන්නට අවස්ථාවක් ලැබී තිබේ. අවසානයේ පහර දිය හැකි හොඳම ආයුධය හමු වී ඇති බැවිනි.

සුරංගනා කතාවල පවා වීරයා ප‍්‍රතිවාදීන් පරදවන්නේ ඒ අරුම පුදුම බලගතු අවිය සොයාගැනීමෙන් පසු ය. මේ ප‍්‍රීතිය ඒ වෙනුවෙනි.

ආයුධය සොයාගනු ලැබුවේ  අප විසින් පළ කරන ලද මෙන්න මේ ප‍්‍රතිචාරයෙනි. ඒ නිලන්තට පිළිතුරු වශයෙන් වැහි බිංදු වැස්ස සහ හිල්වහලය නමැති බ්ලොග් සටහනේ අප විසින් පළ කරන්නට යෙදුණු එකකි.

“බොහෝ දෙනෙක් මෙන්ම නිලන්ත ද කරන්නේ හේතුව ඉවත් කරනු වෙනුවට ඵලයට වෙදකම් කිරීම ය. ත‍්‍රස්තවාදය යනු ඵලයයි. හේතුව ඉවත් කළ සඳ ඵලය ද ඉවත් වෙයි. මගේ ”ඵලය වෙනුවට හේතුව පිටතට වෙනුවට ඇතුළතට” යන බ්ලොග් සටහන බලන්න. දෙමළ ජනතාවට තමන්ගේ භූමිය තුළ තමන්ගේ පාලනයක් ගෙන යාමට ඉඩ දෙන්න. එවිට ත‍්‍රස්තවාදයේ ප‍්‍රධාන මූලය අවසන් වේ. එය ලංකාවේ ආරක්ෂක වුවමනාවන් ද සැළකිල්ලට ගනිමින් කළ හැකි කාර්යයකි. මෙසේ ස්වයං පාලනයක් ලෝකයේ ආරම්භ කරන මුල් රට ශි‍්‍ර ලංකාව නොවේ. ඒ රටවලින් අපට ආදර්ශයන් ගත හැකි ය.”

එහි සඳහන් දෙමළ ජනතාවට තමන්ගේ භූමිය තුළ තමන්ගේ පාලනයක් ගෙන යාමට ඉඩ දෙන්න යන වැකිය සෙසු ඒවායින් වෙන්කොට මේ අවසන් ආයුධය නොහොත් ආයුධවලත් ආයුධය හැදීම සඳහා ඔවුන් භාවිතා කර ඇත. වුවමනාවෙන්ම අමතක කළ කාරනා අතර ලංකාවේ ආරක්ෂක වුවමනාවන් ද සැළකිල්ලට ගමින් යන්නද වෙනත් රටවල ආකෘතීන්ගෙන් මේ සඳහා ගුරුහරුකම් ගත හැකි යයි යන්නද වෙයි. ඒවා මග හැරී ගියේ නිකම් නොවේ. කොටියෙකු යයි දැක්වීමට ය. ඒ අවසන් ආයුධය නොහොත් අල්ටිමේට් වෙපන් එක ප‍්‍රතිවාදීන් මෙල්ල කර ගැනීමට ද දග ගෙට යැවීමට ද අවශ්‍ය නම් පරලොව යැවීමට ද භාවිතා කළ හැකි බලසම්පන්න අවියකි. ඉතින් සන්තෝසවීමට කාරණාවක් නොවෙයි ද? නින්දෙන් අප අවදිකරන්නට හදන මේ පාහරයාට දඩුවම් දිය හැකි නම්.

කොටින් කළේද එයයි. තම කඳවුර තුළ සිටි තම මාර්ගයට හිරිහැරයක් විය හැකි යයි සිතූ සියලූ දෙනා දේශද්‍රෝහී ලේබලය අලවා එලොව යැවීම ය. කොටින්ගේ ප‍්‍රතිබිම්බය වූ දකුණේ ජාතිවාදීන්ගෙන් ඊට වඩා වැඩි දෙයක් අපේක්ෂා කිරීම අසාධාරණ ය.

Posted in: Uncategorized