හොරෙන් නොව එළිපිට ඉගෙනීම සඳහා ඉංග‍්‍රීසිය ජනතාවට පැවරීම

Posted on November 27, 2008



ඉංග‍්‍රීසිය පැවතුනේ වරප‍්‍රසාදලත් පන්තියේ සංකේතය ලෙස ය. එය ඉංග‍්‍රීීසි නොදත් ජනතාවට එරෙහිව ඔවුන් දෙකේ කොළයට දැමීම සඳහා ද පීචං කිරීම සඳහා ද භාවිතා කරනු ලැබිණි.

ඒ නිසාම ඉංගී‍්‍රසිය නිසා පීඩනයට පත් අය විසින් ඉංග‍්‍රීසිය අමතර වශයෙන් සළකන ලද්දේ පීඩනයේ සංකේතය ද ලෙස ය.

ඒ නිසාම ඉංග‍්‍රීසියට එරෙහිව කඳවුරු බැඳීම තුළ පීඩනයට එරෙහි වීමේ සාධනීය ගුණාංගය ද ගැබ්විණි. එහිම අතුරු ඵලයක් ලෙස සිංහල අති උත්කර්ෂවයට ද පත් කරන ලද්දේ ය. නිදහසින් පසු සුද්දාගේ උරුමය ලබා ගත් කලූ සුද්දාගේ භාෂාවට එරෙහිව දේශයේ උරුමය ඇති සිංහලයේ භාෂාව මෙහෙයවන ලද්දේ ය.

ඒ තුළ සිංහල පමණක් දත් බොහෝ පිරිසකට ඉදිරියට ඒමට දොර විවෘත වූ බව ද සැබෑ ය.

මේ බෙදුම් රේඛාව තව දුරටත් අදාළ වන්නේ ද? මේ තුළ පරාජය ලබමින් සිටින්නේ කවුද? ගෝලීයකරණය වූ ලෝකයක මෙහි ප‍්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ කාට ද?

ඉංග‍්‍රීසිය පිළිබඳ ඉතිහාසය හා බැඳුනු කතාව වත්මන් සන්දර්භය තුළ වෙනස් කළ යුතු නැත් ද? ඉංග‍්‍රීසිය ලෝකය දැකිය හැකි කවුලූවක් ලෙස අලූත් සොයාගැනීම් ගැන දැන ගත හැකි මාධ්‍යයක් ලෙස භාණ්ඩ අලෙවිකරගත හැකි ප‍්‍රවේශයක් ලෙස ඉගෙනුම සඳහා නැතිවම බැරි භාෂාවක් ලෙස නැවත භෞතීස්ම කරන්නට නොහැක්කේ ද?

ඉංගී‍්‍රසිය ඉගෙනුමට අමාරු භාෂාවක් ලෙස නම් දරා සිටින්නේ එය ඉගෙනීමට භාවිතා කරන ක‍්‍රම වේදය නිසා ය. අප සිංහල ඉගෙනගත්තේ වරද්ද වරද්දා කීම හරහා ය. එහෙත් ඉංගී‍්‍රසිය අද උගන්වන්නේ නොවරද්දා කීම ටය. නොවරද්දා කියන්නට නොහැකි නිසා බොහෝ දෙනෙකු කරන්නේ නොකියාම සිටීම ය.

කිසියම් දෙයක් අමතරෙන් ඉගෙනගන්නට සිදුවීම කම්මැලියන්ට නම් සොඳුරු කටයුත්තක් වන්නේ නැත. එහෙත් බොහෝ දෙනා ඉංග‍්‍රීසිය ඉගෙන නොගන්නේ ඒ නිසාම නොව මෙහි ඉහත සඳහන් කළ වෙනත් හේතු නිසා ය.

ඉංග‍්‍රීසිය උඩින් පිටුදකිමින් එය හොරෙන් හොරෙන් ඉගෙන ගන්නා පිරිසක් ද මේ අතර සිටිති. ඔවුන් වැටෙන්නේ දේශීයත්වය ගැන වනමින් විදේශීය බොහෝ දේ පරිභෝජනය කරන්නාවූ ද දරුවන් පිටරට එසේත් නැතිනම් ජාත්‍යන්තර පාසල්වලට යවන්නාවූ ද අපේ දේශයේ බොහෝ නායකයින්ගේ ගොඩට ය.

ඉංග‍්‍රීසිය එළිපිට ඉගෙන ගැනීමට ඒ අයට අවසර දී ඒ අය බලාත්මක කිරීම ජාතියක් ලෙස අප ලොව ඉදිරියට යනු දැකීමට කැමති හැමගේ යුතුකම ය.

ඉංග‍්‍රීසි ඉගෙන ගනිමු. ලෝකය අලූතින් දකිමු.

Posted in: Uncategorized