ආණ්ඩුව ඉදිරියෙන් තබා ගෙන පිළිකුල් භාවනා වඩන බුද්ධදාස විතානච්චි මහතාට විවෘත සන්දේශයක්

Posted on December 28, 2010



ඔබ වෙනුවෙන් විවෘතව තිබූ බොහෝ මාධ්‍ය ඔබට පිටුපස හරවා ඇති එසේ නොවුනු මාධ්‍ය පවා අහක බලන මේ මොහොතේ අප ඔබ අමතන්නට තීරණය කළේ ඔබේ හදිසි වෙනස්වීම ජනතාවට කිසියම් ආශ්වාදයක් සපයන නිසා පමණක් නොවේ. ඔබ පිළිබදව නැවත කියවීමක් කරන ලෙස ජනතාවට එය බල කරන නිසාත් ය.

ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පළකර තිබූ ඒ ප්‍රවෘත්තියට අනුව ඔබ ජාතික නිදහස් පෙරමුණෙන් සමුගෙන ඇත. පහුගිය දිනවල ජාතික නිදහස් පෙරමුණෙන් වරින් වර ගිය නන්දන ගුණතිලක කමල් දේශප්‍රිය සහ මෑතකම සමුගත් අචල ජාගොඩ ආදී පිරිස අතරට මෙසේ ඔබ ද එක්වෙතත් ඔබේ හැර යාම තරමක් වෙනස් ය.

ඒ ජාතික නිදහස් පෙරමුණ ගැන පමණක් නොව ආණ්ඩුව පිළිබදව ද ඔබ නොපහන් නිසා ය.

ඔබ ලංකාඊනිව්ස් අඩවියට ප්‍රකාශ කර ඇති ආකාරයට රටතුළ පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කළකිරීමකට වඩා පිළිකුලකි. එය අපට පෙනෙන ආකාරයට බරපතල ප්‍රකාශයකි. එහෙත් මේ පරිපාලනයේ කවර කාරණා සම්බන්ධයෙන් ඒ පිළිකුල තිබේ දැයි ඔබ පැහැදිලි කොට නැත.

ආණ්ඩුවට ජනතාව ගාල් කිරීම සදහා තමන්ගේ ප්‍රතිරූපය මාකට් කළ සංවේදී කලා කරුවන් අතර ඔබ ප්‍රමුඛයෙකි. ඒ නිසා ඔබේ පිළිකුල පමණක් ප්‍රකාශ කිරීම මගින් ඔබ විසින් කරන ලද්දාවූ ඒ පාප කර්මයට සමාවක් ලැබෙන්නේ නැත.

එතෙකුදු ඔබගේ නව අස්ථානය අගය කිරීමට එය අපි බාධාවක් කර නොගන්නෙමු. මෙවැනි යුගයක තමන්ගේ පිළිකුල පවා ආණ්ඩුවකට එරෙහිව ප්‍රකාශ කිරීමේ අවදානම බාර ගැනීමම නිර්භීත පියවරක් වන නිසා ය. එය පිළිකුල සගවා ගෙන මුනිවත රකින බොහෝ දෙනෙකුට එළියට එන්නට කරන අනුබලයක් නිසා ය.

අප ඔබතුමාට මේ මොහොතේ මතක් කර සිටීමට කැමැති වනුයේ ඔබගේ නව අස්ථානය වඩා පැහැදිලි ලෙස ජනතාවට ඉදිරිපත් කිරීමට ඔබට යුතුකමක් මෙන්ම පැහැර හැරිය නොහැකි වගකීමක් ද තිබෙන බව ය. අප වඩාත් එසේ සිතන්නේ අද පවතින දේශපාලන සංස්කෘතියේ ලක්ෂණ ඔබ ඒ දේශපාලනයට සහය දක්වන කාලයේත් නොඅඩුව පැවති නිසා ය. එවන් සද ඔබේ නව විරෝධය කුමක් අරභයා ද යන්න ජනතාව දත යුතු ය.

ඒ සදහා කට හඩ අවදි කරන්නට ඔබට ධෛර්යයත් ශක්තියත් ලැබේවායි අපි පතමු.

පිළිකුල් භාවනාවක යෙදීමෙන් පමණක් යුක්තිය ඉටු කරන්නට හැකි යයි අපි කොහෙත්ම විශ්වාස නොකරමු.

Posted in: Uncategorized