වඩා භයානක හා අසික්කිත වන්නේ කුමක් ද?

Posted on December 27, 2010



බතික් කමිසයක් ඇදගෙන කැබිනට් රැස්වීමකට පැමිණිම මිනිසෙකු ගස් බදිනවාට වඩා භයානක ය. ගැහැණියකගේ පිට දැලි පිහියකින් කපනවාට ද වඩා භයානක ය.

තනපටක් පැළද බිල් බෝඩ් එකක පෙනී සිටීම ප්‍රසිද්දියේ ගැහැණියකගෙන් උක්කු බොන්නට ආස යැයි කියනවාට ද වඩා අසික්කිත ය. රූපවාහිනියේ අරක්කු විදුරුවක සේයාවක් දැකීම රජගෙදර දී ඉස්මුරුත්තාව හැදෙන තෙක් බොනවාට වඩා අශිෂ්ඨ ය.

මේ අනුව භයානක අසික්කිත අශිෂ්ඨ දේ මොනවා දැයි අපට පැහැදිලි වෙමින් තිබේ.

කැසිනෝහලක සූදු කෙලීමට වඩා ගමේ බූරු පොළේ ඒ දේ කිරීම හෑල්ලුවක් බව අපි දැන් තේරුම් ගෙන සිටිමු. දේශද්‍රෝහියෙකු මරා දැමීමට වඩා හරකෙකු මරා දැමීම පවක් බව අපි වටහා ගෙන සිටිමු.

සතුන් මැරීමට විරුද්ධ වෙනවා නම් විරුද්ධ විය යුත්තේ එය කාලිඅම්මාන් කෝවිලේ සිදු කිරීම ගැන ය. මිනිසුන් මැරීමට විරුද්ධ වෙනවා නම් ඒ පලස්තීනයේ හෝ ඇෆ්ගනිස්ථානයේ නැතිනම් ඉරාකයේ මැරීම ගැන ය.

ප්‍රශ්නය ඇතිවන්නේ පුංචි කොල්ලන්ට හා කෙල්ලන්ට මේවා කියා දෙන්නට ගිය විට ය. ඕන් නැති ප්‍රශ්න නාහා පැත්තකට වෙලා හිටපං යයි ඒ වෙලාවට ගාම්භීර පෙනුමක් රදවාගෙන එතැනින් දිරා මාරු වෙන්නට ඉගෙන ගත්තහම එතැනිනුත් බේරෙන්නට පුලුවන. පුංචි එවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට මහ එවුන් බැදී නැති බව පුංචි එවුන් පුංචි කාලෙ සිට තේරුම් ගැනීම උන් තරුණ වියට එළඹුනහම උන්ගේ සෞඛ්‍යයට ද හොද ය.

ඊලග ප්‍රශ්නය එන්නේ හෘද සාක්ෂිය මුණ ගැහුන විට ය. ඒකට නම් ඇත්තේ පුංචි විසදුමකි. ඒ ඒක යූනියන් ඇෂුරන්ස් එකට බාර දී මාරු වෙන එක ය. කොහොමටත් අපේ අනාගතයත් රටත් දරු පරපුරත් දේශපාලනඥයින්ට උගස් කර ඇති නිසා ඔය බඩකඩුත්තුව විතරක් අප ලග තියාගෙන තේරුමක් නැත.

Posted in: Uncategorized