ප්‍රචණ්ඩත්වය – බැහැර කළ යුතු ද? වැළද ගත යුතු ද?

Posted on December 25, 2010



බලය තියෙන අය නැති අයට ‍එරෙහිව සිය බලය භාවිතා කිරීම අපි නිතර අත් දකිමු. බලය තියෙන අය සිතන්නේ එයින් තමන්ගේ වාසිය සැළසෙනවා පමණක් නොව බලය නැති තැනැත්තාට ද ඉන් අනියමින් යහපතක් වෙන බව ය. සමාජයටම එයින් සුගතියක් වෙන බව ය.

ඒ නිසා බලය ඇති ගුරුවරයා බලය නැති ශිෂ්‍යාට තලන්නේ ය. බලය ඇති ස්වාමිපුරුෂයා බලය නැති බිරිය ආණ්ඩු මට්ටු කරන්නේ ය. බලය ඇති පාලකයා නිදහස් පුරවැසියන්ගේ විරෝධාකල්පයන් වචනයෙන් ද ක්‍රියාවෙන් ද මඩින්නේ ය.

සයිබර් අවකාශයේ මේ සෙල්ලම ටිකක් අමාරු ය. සයිබර් අවකාශය පාලනය කිරීම බලයට අමාරු නිසා ය. විකිලීක්ස් වෙබ් අඩවිය නිසා මහා බලවත් පෙන්ටගනය අමාරුවේ වැටෙන්නේ ය. සමහර බ්ලොග්අඩවි හා වෙබ් අඩවි නිසා පාලකයින්ට එලොව පොල් පෙනෙන්නේ ය.

කුණුහරුප කියා තර්ජනය කර ප්‍රතිචාර එවනවාට අමතරව ඒවා මැඩීමට කළ හැකි දේ තවත් ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ඒතරම් සරල නැත. විකිලීක්ස්ට තර්ජන එල්ලවන විට විකිලීක්ස්ගේ අනාවරණයන් සුරක්ෂිත කිරීමට පෙළගැසුනු වෙබ් අඩවි ගණනාවක් මතුවිය. මේ සියල්ල දමනය මහ බලගතු පෙන්ටගනයට ද අමාරු ය.

ලාංකීය දේශප්‍රේමීහු ‍විකිලීක්ස් අනාවරණ ගැන මහත්වූ ප්‍රීතියට පැමිණ සිටිති. එහෙත් විකිලක්ලීක්ස් එකක් පහළවුවහොත් නම් සියල්ල නැවත වෙනස් වනු ඇත්තේ ය.

චැනල් ෆෝ හි පළවූ විඩීයෝ දර්ශන පට ව්‍යාජ ඒවා යයි ගැලවෙන්නට අපේ ආණ්ඩුව සමත් විය. එයට එක් හේතුවක් නම් ඒවායේ නිර්ව්‍යාජභාවය හෝ ව්‍යාජභාවය විමසන්නට දේශප්‍රේමීන්ට වුවමනාවක් නැති කම ය. ඒ ගැන කතාකිරීමම දේශද්‍රෝහී ක්‍රියාවක් නිසා එයින් ඇති කළ හැකි මහජන කැළඹීමක් නැත.

එහෙත් විකිලීක්ස් අඩවියේ පළවූ දෑ හි නිර්ව්‍යාජභාවය හොයන්නට ඇමරිකාවේම සංවිධාන ඉදිරිපත්වී ඇති අතර ඒවා නිර්ව්‍යාජ ඒවා බවට සහතික ද ඒ සංවිධාන විසින් නිකුත් කර ඇත. ඇමරිකන් ආණ්ඩුව කලබලව ඇත්තේ ඒ නිසා ය. අපේ ආණ්ඩුවට මෙන් ඒවා බොරු යයි නිකම් කියා ෂේප් වෙන්නට ඒ රටේ ජනමතය හා සිවිල් සංවිධාන ඔවුන්ගේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැත.

එහෙත් විකිලීක්ස් කර්තෘට ස්ත්‍රීදූෂණ චෝදනා ගොනු කිරීමට බලධාරීන් සමත්ව තිබේ. ඒ අතින් උන් ලංකාවෙන් ඉගෙන ඇතැයි සිතෙන තරම් ය. එය විවෘත ප්‍රචණ්ඩත්වයකි. ස්ත්‍රී දූෂණ චෝදනා ඇත්නම් ඒවා විභාග කිරීමට නීත්‍යනුකූල අයිතියක් ඇතැයි කියා ගැලවෙන්නට එරට පාලකයින්ට හා උන්ගේ යුරෝපීය සගයින්ට පුලුවන. එහෙත් ඒ චෝදනා එල්ලවන වෙලාව නිසාම චෝදනා සැක උපදවන්නේ ය.

මේ ප්‍රචණ්ඩත්වය බලයට එරෙහිව සයිබර් අවකාශය පාවිච්චි කරමින් කැරලි ගැසූවෙකු මර්දනය සදහා යෙදූ එකකැයි අපට සිතෙන්නේ එහෙයිනි.

බලය තියෙන අය විසින් බලය නැති අය මේච්චල් කිරීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම පිළිකුල් සහගත ය. ඒ බලය ඇති අය විශේෂයෙන් බලය පාවිච්චි කිරීමේදී විශේෂ සංයමයක් පළකළ යුතු යැයි අප විශ්වාස කරන නිසා ය. එහෙම නොකරන විට ඒ බලයම මේච්චල් කිරීමට පළල් සමාජය විසින් කටයුතු කළ යුතුව තිබේ.

ගුරුවරයෙකුට සිසුවෙකුට විනය පවත්වාගෙන යෑම උදෙසා දඩුවම් දීමේ බලයක් ඇත. එහෙත් ඒ සදහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට අයිතියක් ගුරුවරයාට ඒ බලය නිසා ලැබෙන්නේ නැත. දඩුවම වැරැද්දට සරිලන එකක් විය යුතුවාක් මෙන්ම එය දිය යුත්තේ සිසුවා හදා ගැනීමේ සානුකම්පික අදහස පෙරදැරි කරගෙන මිස වෛරයෙන් නොවිය යුතු ය.

අප අත්දකින බලය පෙන්වීම ප්‍රචණ්ඩත්වය සමග මුසුව ඇති නිසාම ඒ ගැන ඇතිවන්නේ පිළිකුළකි. ප්‍රචණ්ඩත්වයට පිළිතුරු ලැබෙනු ඇත්තේ ප්‍රති ප්‍රචණ්ඩත්වයෙනි. අප ඒ ගැන බොහෝ අත්දැකීම් ඇති ජාතියක් වුව ද ඒ අත්දැකීම්වලින් ඉගෙන ගත් බවක් පෙන්වන්නේ නැත.

විකිලීක්ස් අඩවියට ‍එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන සංවේදී දේශප්‍රේමීනට අපේ රටේ ප්‍රචණ්ඩත්වය නොපෙනෙන්නේ අප කොතරම් කෑගැසුවත් සුද්දා සරණ යෑමට කැමති නිසා ද?

එතැනදී උන්ගේ රටවල යහපත් දේ වෙනුවට අයහපත් දේම උලුප්පා උන්ට හොදනම් අපට මොකදැයි අපේ අය කියන්නේ අපේම අවාසනාවට ය.

මේ බොහෝ දේශප්‍රෙමීන්ට සුද්දාට වඩා හොදවීමට අපේක්ෂාවක් නැත. උන් වගේ වුනහම ඇති ය. එයිනුත් පෙන්නන්නේ සුද්දාට උන්ගේ ඇති ගැතිකම ය.

බටහිරට පෙන්විය හැකි අප සතු ලොකුම සම්පත බුදුන් දෙසූ අමිල දහමය. ඒ දහමේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත. ඒත් සුද්දාගේ ප්‍රචණ්ඩත්වය සරණ යන අපේ දේශප්‍රේමීන්ට බුදුන්ගේ මෙත් මුදිතා කරුණා විකල්පයක් ලෙස ලොවට ඉදිරිපත් කරන්නට තරම් ස්වාධීනත්වයක් නැත. උන් කැමති වනු ඇත්තේ සුද්දාට වැරදුනු මග දිගේ ඊට වැඩිවේගයෙන් යෑමට ය.

Advertisements
Posted in: Uncategorized