මහාමාර්ග ඇමතිත් දුම්රිය ඇමතිත් ඉල්ලා අස්වේ?

Posted on December 24, 2010



දෙහිවල හරියෙන් ගාලුපාර තුන්වෙනි වරටත් බැහැලා ය. මේ තත්වය යටතේ තමන් තවදුරටත් මහාමාර්ග ඇමති හැටියට සිටීම යුක්ති යුක්ත නොවන බැවින් ශ්‍රී ලංකා රජයේ මහාමාර්ග අමාත්‍යවරයා ඉල්ලා අස්වී ඇත.

(කැබිනට් මණ්ඩලය කටපාඩම් කර ගෙන අවසන් නැති නිසා ඒ ඇමතිතුමා කවරෙක්දැයි හරිහැටි කියන්නට  අප දන්නේ නැත).

ඒ කණගාටුදායක සිද්දිය වුනේ දුම්රිය ඇමතිවරයා සිය අස්වීමේ ලිපිය බාර දී පැය කීපයක් යන්නටත් මත්තෙන් ය. දුම්රිය ඇමති අස්වීමේ ලියුම බාර දී තිබෙන්නේ 105 වතාවටත් දුම්රිය පිලීපැනීමෙන් පසු ය. තමන් කුඩාකල දී දුම්රිය පිලිපැනීම් ගැන අසා නොතිබුනු බව මතක් කළ දුම්රිය ඇමති කියා සිටියේ මේ අවනම්බුව විදීමට තමන් තවදුරටත් සූදානම් නැති බව කි.

මේ සිදුවෙමින් තිබෙන්නේ මහා අනතුරකි. මේ විදිහට ඇමතිවරු අස්වන්නට ගියොත් ළුනු පොල් බිත්තර කුකුල්මස් වලට අමතරව ලගදී ඇමතිවරු ද පිටරටින් ආනයනය කරන්නට සිදුවන්නේ ය.

ඇත්තටම බැලුවහම ඕවා මහ දේවල් නොවේ. අලිත් මැරෙන කල පාරක් ගිලා බහින එකත් කෝච්චියක් පිලී පනින එකත් මහා කජ්ජවල් නොවේ. ඇත්තටම පුදුමය නම් රටේ වැඩ කෙරෙන හැටියට ඕවා ඔහොමවත් ඉතිරිව තිබීම ය. මට හිතෙන්නේ එහෙම නොවෙන්නේ ආශ්චර්යයක් අනුව කියා ය.

මේ තත්වය වහා පාලනය කළ යුතු නිසා විමලේ අයියා මුණ ගැසී උපවාසයක් හෝ උද්ඝෝෂනයක් කිරීමට කල්පනා කළෙමු. හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව උද්ඝෝෂණයක් කරගන්නට කැමති අය විමලේවත් ඊට සම්බන්ධ කරගත යුතු යැයි රාජ අණඥාවක් තිබුනා යම්තමට වගේ මතක ය.

ඒත් විමලේ පේන්නට නැත. පොර හැංගිලා ය. සමහරු නම් කියන්නේ බෑන් කී මූන්ගේ කොමිසම ලංකාවට එන හැටි දැන මූණ දීගන්න බැරිව හැංගිලා කියලා ය. බොහෝ දෙනෙක් නොදන්නවාට විමලේ ගැන අපි හොදින් දනිමු. එහෙම මූණ දී ගන්න බැරි තාලේ මූණක් විමලේට නැත.

විමලේ නැත්නම් චම්පික වුවත් නරක නැත. ඒත් පොර දැන් ප්‍රොෆෙෂනල් පෙනුමක් දාගෙන ඉන්නා නීසා කලබලවලට එන්නේ නැත. හෙළ උරුමය විද්‍යාවට ඔය විදිහට උකස් කිරීම ගැන අපේ කැමැත්තක් නැත. ඒත් ඔය ඔක්කොම ප්‍රශ්න මේ වෙලාවේ ඉස්සරහට අරන් බැරි ය.

කැබිනට් මණ්ඩලය ඔහොම අස්වෙන්න ගියොත් අපි අනාථ ය. මේ ගැන කළ යුතු යමක් ඔබට වැටහෙනවා නම් අපට ලියා දන්වන එක ඔබගේත් යුතුකමක් ය. අපට වගේම මේ ඇමතිමණ්ඩලය රැකගැනීමේ වගකීමක් ඔබටත් තිබෙනවා යැයි අපි උදක්ම විශ්වාස කරමු.

Posted in: Uncategorized