බනානා රිපබ්ලික් – විදෙස් මිතුරෙකුගෙන් ලංකාව ගැන විමසුමක්

Posted on December 22, 2010



මුල්වරට එය සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ය. ඒ මගේ මිතුරන් දෙදෙනෙකු නිවාඩුව මා සමග ගත කිරීම සදහා මීගමුව පැමිණ සිටියදී ය. ඒ අප නවාතැනට කඩා වැදුනු හොරෙකු මගේ මාස 4 ක පර්යේෂණ ප්‍රතිඵල ගබඩා කර තිබූ ලැප්ටොප් පරිගණකය ද මිතුරෙකුගේ මුදල් ද තවත් උපකරණ කීපයක් ද රැගෙන යාමෙනි.

පසු දා උදෑසන මා පොලිස් ස්ථානයට ගියේ ඒ ගැන පැමිණිල්ලක් කරනු පිණිස ය. ඉතාම කාරුණිකව මා පිළිගත් ඔවුන් පැමිණිල්ල ලියා ගැනීම සදහා පැය කීපයක් මා රදවා ගැනීමට ද කාරුණික වූහ. ඔවුන් මා ගැන නොදැන සිටියා නොවේ. මීට දින දෙකකට උඩ දී ද මෙවැනි කඩා වැදීමකට කළ උත්සහයක් පිළිබදව පැමිණිල්ලක් කරණු පිණිස මම මෙතැනටම පැමිණ ඇත්තෙමි. ඒ අසාර්ථක වූ හොරකමක් ගැන ය. සමහර විට මෙය සාර්ථක වූ හොරකමක් නිසා ඔවුන් යම් උනන්දුවක් දක්වන්නට ඉඩ තිබේ.

එහෙත් තවත් සුමාන දෙකකට පසුව නැවතත් ඒ පොලිස් ස්ථානයටම යාමට මට සිදුවිය. ඒ පෙරදින රාත්‍රිෙය් මගේ කාමරය තුළ තිබූ අල්මාරිය බලෙන් ඇරීමට තැත් කළ අයෙකු හඹා යමින් අල්ලන්නට තැත් කළ ද ඔහු බේරි පලා ගිය බව පැමිණිලි කරන්නට ය.

ඊට මාස දෙකකට පසුව ද මම නැවතත් මීගමුව පොලීසියට ගියෙමි. හැම පොලිස් නිලධාරියෙකුම පාහේ මා අදුනාගෙන මට සිනහවකින් සංග්‍රහ කිරීමට තරම් කාරුණික වූහ. ඔවුන්ගේ සිනහමුසු මුහුණුවලින් පළවුනේ නැවත මා දැකීම ඔවුන්ට සතුටට හේතුවී ඇති බව ය. එවර මා පොලීසියට ගියේ මා නැවත මීගමුවේ නවාතැනට පිවිසෙන විට එහි දොරවල් විවෘත කර සියලු දෙරගුලු කඩා දමා පරිස්සමින් තෝරාගත් භාණ්ඩ කීපයක් සමග සුපුරුදු හොරාම කරදරයකින් තොරව බැහැර වී ඇති බව පවසන්න ය.

මා මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා තිබුනේ දියුණුවෙමින් පවතින රටවල බැවින් සොරකම් ගැනත් පොලීසියේ අකාර්යක්ෂමතාවය ගැනත් උදාසීනත්වය ගැනත් මට බොහෝ අත්දැකීම් ලැබී තිබිණි. ඒ නිසාම මේ සිද්ධිදාමය මට විශ්මයක් ගෙනාවේ නැත. ඒත් ශ්‍රී ලංකාව තුළ- අක්‍රීයතාවය හා නොපිළි ගැනීම -වැනි දෑ අලුත් තලයකට ගෙනැවිත් ඇතැයි මම සිතමි. මේ සියල්ල ලීවේ මා තුළ මේ මුහුණදීම් නිසා ඇතිවූ පුද්ගලික කළකිරීම පළකිරීමටම නොවේ. මේ සියල්ල රටතුළ පවතින පොදු තත්වය පෙන්වන කැඩපතක් යැයි මා සළකන නිසා ය. මට කියන්නට අවශ්‍ය වන්නේ රටතුළ ඉන්නා හොරුන් හා තක්කඩියන් තුළ පමණක් තමන්ගේ වෘත්තිය පවත්වාගෙන යාමට අවශ්‍ය විනයත් උද්යෝගත් ඇති බව ය.

මාව වරදවා වටහා ගනු නැතැයි මම උදක්ම සිතමි. මම මේ රටට ආදරය කරමි. මම මගේ පර්යේෂණ සදහා සුදුසු රට ලෙස ද එය තෝරාගෙන ඇත්තෙමි. පසුගිය වසර හතරම මා ගෙවා ඇත්තේ එහි ඉතිහාසය එහි භාෂා එහි සංස්කෘතිය හැදෑරීම සදහා ය. මම මගේ රටට නැවත ගොස් ඒ පිළිබද නිබන්ධනයක් ඉදිරිපත් කරන්නෙමි. මට හිතෙන විදිහට මගේ ඉදිරි දෙවසර මේ රට ගැන මා උගත් දෑ බෙදා ගැනීමට වැයවනු ඇත්තේ ය. මම ඊට කැමැත්තෙමි. එහෙත් මට එසේ ගිය දිනක රට අහිමිවීමේ දුකක් නම් නොදැනෙනු ඇත්තේ ය.

මම වැඩුනේ ලතින් ඇමරිකාවේ ය. බනානා රිපබ්ලික් ලෙස ඒ රටවල් හදුන්වනු ලැබුවේ ඒවායේ ඒකාධිපති පාලනයන් උත්ප්‍රාසයට ලක් කරනු පිණිස ය. එහෙත් 2010 ශ්‍රී ලංකාවේ හෙවනැල්ලටවත් ලංවීමට ඒවාට බැරි ය. මේ රට බනානා රිපබ්ලික් සෙල්ලමේ මෙතරම් උසස් මට්ටමකට ලගාවීමට සුදුසුකම් ලැබුවේ කෙසේ ද? මට හිතෙන හැටියට නම් ප්‍රශ්න විසදනු වෙනුවට ඒවා සමග වෙසෙමින් සිනාසීමට ශ්‍රී ලංකාව උපාය මාර්ගයක් සොයා ගෙන තිබීම ඊට හේතුවයි.

උතුරට යන සංචාරක ගමනකින් දකුණේ ශ්‍රී ලාංකිකයින් විසින් අනුස්මරණය කෙරෙන තිස් අවුරුදු යුද්ධය සියලු රෝගවලට මුල යයි ආණ්ඩුව පෙන්වමින් තිබේ. එහෙත් කණගාටුදායක සත්‍යවනුයේ ඒ යුද්ධය අදටත් සෞඛ්‍ය සම්පන්නව පවතින අයුක්තිසගගත ක්‍රමයක ස්වභාවික ප්‍රතිඵලයක් බව ය.

රටම වෙලා ගෙන ඇති දූෂණය හා හිංසනය නොපවතින දෙයක් හැටියට වචනයෙන් බැහැර කරනු ලැබ තිබේ. එසේ බැහැර කරනු ලැබ ඇත්තේ ඒවා රටේ කීර්ති නාමය පලුදු කරන ජාත්‍යන්තර මෙහෙයවීමකට අනුව සිදුවෙතැයි කියා ය. ප්‍රවෘත්තිවලට සවන් දෙන විට හා කියවන විට අපට බහුතරව දැක ගත හැක්කේ වත්මන් පාලනයේ ජයග්‍රහණවලින් ආඩම්බර වෙනවා යයි පෙන්වන මිනිසුන්ගේ කතා ය. එහෙත් සැබෑ අභිමානයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයෝ, මා විශ්වාස කරන ලෙස, රට මුහුණ දී ඇති යථාර්ථය ඉදිරියේත් එය ලෝකය තුළ ඇති කර ඇති ප්‍රතිරූපය පිළිබදවත් ලජ්ජාවට පත්ව  සිටිති.

සංස්කෘතික වශයෙන් පොහොසත් ‍ඓතිහාසික වශයෙන් සංකීර්ණ අභිමානවත් ජාතියක් යන අදහස යටපත් කොට හැම ඉලව්වක්ම සිනාසී ඉවසන සරල වින්දනයෙන් සෑහීමකට පත්වන ජාතියක් යන්න ඉස්මතු කර පෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ය.

මම මෙහි පුරවැසියෙකු නොවුව ද මට මේ රටට නෑකම් කිව හැකි ය. මා ඉපිද වැඩුනේ ද මෙවැනිම යටත්විජිතයක් පැවති පසුකලෙක අන්තර්ජාතික මූලධනය විසින් කිසිදෙයක් ඉතිරි නොවන ලෙස සූරා කනු ලැබූ තුන්වෙනි ලෝකයේ රටක ය. ඒ සමගම මා කිව යුත්තේ මා හැදී වැඩුනේ පොහොසත් රටක් දුගී බවේ හා නොදැනුවත්කමේ දුර්දාන්ත අනාගතය හා බැද තැබීම නොරිස්සනු ලැබුවා වූද ගැටුම් සාමකාමීව විසදීමට නොහැකිවීම ගැන ලජ්ජාවෙන් පසු වූවා වූද පුරවැසියන්ට පිටට තට්ටු කරනු හා පෝෂණය කරනු ලබනවා වෙනුවට ගෞරවයෙන් සළකනු ලබන හා ඇහුම්කන් දෙනු ලබන්නාවූ පාලනයක අගය වටහා ගත්තාවූ ද නව පරම්පරාවක් සහිත පරිසරයක බව ය.

ඒ නිසාම මම ප්‍රාර්ථනා කරන්නේ ද බොරුවට මවා ගත් අනාගත සිහිනයෙන්ගෙන් මුලාවනු වෙනුවට යුක්ති යුක්ත අරගලයන්ගේ ඉතිහාසය හා ස්වයං අභිමානය විසින් පෝෂණය කරනු ලබන්නා වූ ද සරලත්වය වෙනුවට සංකීර්ණත්වයෙන් ආඩම්බරවන්නා වූ ද අලුත් පරම්පරාවක් ශ්‍රී ලංකාවේ පහළවේවා කියා ය.

ලංකාවට අවශ්‍ය එකිනෙකාට කතා කරන මිනිසුන් නොවේ. එකිනෙකාට ඇහුම්කන් දෙන මිනිසුන් ය. එකිනෙකා රැක බලාගන්නා මිනිසුන් ය. මිනිසුන් තමන්ගේ රැකියා ගැන ද තමන්ගේ අසල්වාසීන් ගැන ද ඔවුන්ගේ ප්‍රශ්න හා අධ්‍යාපනය ගැන ද වගකීමෙන් බලන දිනයක් එළඹෙන තුරු ඔවුන් ජාතිය දෙස වගකීමෙන් බලන එකක් නැත.

බර්නාඩෝ බ්‍රවුන්,

ආචාර්ය උපාධිය සදහා ඉගෙන ගන්නා කොර්නල් සරසවියේ ශිෂ්‍ය සහ කොළඹ සරසවියේ බාහිර පර්යේෂක

(උපුටා ගැනීම 2010 දෙසැ 19 සන්ඩේ ටයිම්ස් පුවත්පත- පරිවර්ථනයේ වගකීම බියොන්ඩ් ෆ්රේම්ගේ ය.)

Posted in: Uncategorized