යුද අපරාධ ගැන බියොන්ඩ් ෆ්රේම් මතය

Posted on December 21, 2010



යුද අපරාධ ගැන අපේ මතය කුමක්දැයි සගයෙක් අපෙන් ඇසී ය. ඇත්තටම එය මාතෘකාවක් කොට නොගත්තේ කුමන හේතුවක් නිසා දැයි අපට ද දෙවරක් සිතීමට ඒ ප්‍රශ්නය බල කළේ ය. සමහර විට සවිඥානකව නොවුවත් අවිඥානකව අපම ස්වයං වාරණයක් දාගත්තා විය හැකි ය. ඒත් ඒ විමසුම තවදුරටත් මගහැරිය නොහැකි ය. ඒ නිසා යුද අපරාධ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මෙසේ ඍජුව ප්‍රකාශ කර සිටිමු.

යුද අපරාධ ගැන ලංකාවේ මුලින්ම වාර්ථාවන්නේ 1971 දී ය. ප්‍රේමවතී මනම්පේරි නම් කාන්තාව නිරුවත් කර මරා දැමීම සම්බන්ධයෙන් හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් කීප දෙනෙක් චෝදනා ලැබූ අතර අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් ඔවුන්ට දඩුවම් ලැබුනේ ය. මෙය 71 සිදුකරන ලද එකම අපරාධය නොවෙතත් වාර්ථාගත අපරාධ අතුරින් වඩාත්ම සිත් සසළ කරවූ අපරාධය විය.

දෙවැන්න වාර්ථා වූයේ 1988-89 සමයේ ය. ඒ ඇඹිලිපිටියේ සිදුවූ සිසු ඝාතනය යි. එහි ද වරද කරුවන් උසාවියට පමුණුවා දඩුවම් දෙන ලද්දේ ය. 88-89 සමයේ සිදුවු එකම යුද අපරාධය මෙය නොවූවත් එය හමුදාව විනයානුකූලව කටයුතු කළ යුතු බවට අගනා පණිවුඩයක් වූයේ ය.

මේ එකද අවස්ථාවකවත් වගකිවයුත්තන්ට දඩුවම් දීමට ඉදිරිපත් වූ කවරෙකුත් දේශද්‍රෝහී චෝදනාවන්ට ලක් නොවුනේ ය. අපරාධකරුවන් සම්බන්ධයෙන් ජනයාගේ අනුකම්පාවක් ද නොතිබුනේ ය. රටට සාමය උදාකළ නිසාම හමුදා සෙබළුන්ට අහිංසක නිරායුධ මිනිසුන් මරා දමන්නට බැරිබව ශිෂ්ඨ සමාජය එදා එසේ විශ්වාස කළේ ය.

එහෙත් ඒ ශිෂ්ඨත්වය අද ප්‍රදර්ශනය නොවෙයි.

අද ඒ වෙනුවට දකින්නට ඇත්තේ යුද අපරාධ ගැන නිකම් කට හෙල්ලීම ද එය විමසීම කළ යුතු යැයි කීම ද දේශද්‍රෝහී වීමේ අලුත් දර්ශනයකි.

අප සිතන්නේ යුද අපරාධ ගැන සෙවීමටත් පෙර මේ පරිවර්ථනයට හේතු සෙවිය යුතු බව ය. එය යුද අපරාධ ගැන සෙවීමටත් වඩා වැදගත් ය. පළමුව ද දෙවනුව ද තෙවනුව ද එයම සෙවීමට මූලිකත්වය දිය යුතු යයි අපි අවධාරණය කරන්නෙමු.

එහෙත් ඊට සුදුසු පරිසරයක් අප රටේ නැත. බලාහාත්කාරය හා චණ්ඩිකම එකම දේශපාලන උපාය මාර්ගය ලෙස බෞතීස්ම කර ඇති රටක ආචාර්ය මර්වින්ගෙන් සංකේතවත් වන කැබිනට් මණ්ඩලයක් ඉන්නා රටක පාර්ලිමේන්තු සගයිනට පාර්ලිමේන්තුව තුළ ශාරීරික තුවාල සිදුකරන රටක යම්තම් හෝ වෙනස් මතයක් දැරීම පාපයක් වන රටක අපි ජීවත් වෙන්නෙමු.

යුද අපරාධ ගැන අපෙන් අහන සගයින්ගේ එක් බලාපොරොත්තුවක් විය හැක්කේ අපද ඒ ගොඩට දමා චකබ්ලාස් කිරීම විය හැකි ය. යුද අපරාධ ගැන කතා කිරීම නීති විරෝධි කර හෝ ඒ ගැන කතාකරන්නන්ට අතින් පයින් සංග්‍රහ කර හෝ යුද අපරාධවල කලුපැල්ලම් වලින් අපට ගැලවිය නොහැකි ය. ඒක තේරුම් ගන්නා විට රටට ලැබෙන අපකීර්තිය ලැබී අවසන් වී තිබිය හැකි ය.

අපේ මතය ඇසූ සගයාගේ අදහස කුමක් වුව ද යුද අපරාධ ගැන අපේ මතය ලිවීමට එමගින් ලද අවස්ථාව අපි අගයමු. යුද්ධය කුමක් ගෙනාව ද යුද්ධ අපරාධ සිදුව ඇත්නම් ඒවා අපරාධම ය. ඒ චෝදනාවලින් ගැලවිය හැකි එකම ක්‍රමය නිසි පරීක්ෂණයන් සිදුකිරීමට කටයුතු කිරීම ය. ඒ හරහා වැරදි කරුවන් වෙතොත් දඩුවම් දීම ය. ඉන් මෙහා කරන සියලු කට දෙඩවීම් සේවය කරන්නේ අප රටේ කීර්තියට එරෙහිව ය.

Posted in: Uncategorized