ජාතික ගීය දෙමළාගෙන් බේරා ගැනීම

Posted on December 20, 2010



රට දෙමළාගෙන් බේරාගත්තාට පසු අප ලැබූ ලොකුම ජයග්‍රහණය සේ සැළකිය හැක්කේ ජාතික ගීය දෙමළාගෙන් බේරා ගැනීම ය. පහුගිය දවස්වල පත්තර ‍බ්ලොග් බලන විට දැනුනේ එසේ ය.

ලංකාවේ භාෂා හැට හුටහමාරක් නැත. ඇත්තේ දෙකකි. ඒ නිසාදෝ ඒ දෙකම රාජ්‍ය භාෂා ය. මුලදී එසේ නොවී වැඩේ කොහුවුනාට පසු දෙකම රාජ්‍ය භාෂා වූ බව ඉතිහාසය කියවා නැති අය දත යුතු ය. දෙකම රාජ්‍ය භාෂා යයි කිව්වට එකක් අනිකට වඩා ලොකු ය.

ඒ බව මා තේරුම්ගත්තේ දෙමළෙන් ජාතික ගීය ගයන්නට අවසරයක් නැතැයි දැන ගත් දවසේ ය. සමහර විට ඒ මගේ නොදැනුවත්කම විය හැකි ය.

ඉන්දියාවේ භාෂා තුන්සිය ගණනක් තිබේ. ඉන්දීය ජාතික ගීය ඒ සියල්ලෙන් ගැයෙන්නේ නැතැයි එය ගැයෙන්නේ හින්දියෙන් පමණක්ය යන්න අගනා තර්කයකි. එහෙත් ඒ තර්කයක් පමණකි. භාෂා තුන්සියයකින් ගැයීම ප්‍රායෝගික නොවුවත් දෙකකින් ගැයීමේ දී එවැනි ගැටලුවක් ඇති නොවන බැවිනි.

අපේ කට්ටිය මොනවා ගැන කතා කළත් බොහෝ විට නගන ප්‍රශ්නය වන්නේ වෙන රටවල ආකාරයට මෙහේ කළ යුතු වන්නේ ඇයි ද කියා ය. එහෙත් මෙතැනදී නම් වෙන රටවල කරන ආකාරයටම කළ යුතු යැයි අප විසින්ම නියෝගයක් පනවා ගෙන තිබේ. වෙන රටවලට ආදර්ශයක් විය හැකි යමක් කිරීමට අප මෙතරම් පසු බාන්නේ මන්ද?

ජාතික ගීය භාෂා දෙකම ඇතුළත් කොට අප හැමට ගයන්නට නොහැක්කේ මන් ද? ඒ සදහා සුදුසු සංශෝධනයක් කළ නොහැකි ද?

ජාතීන් අතර එකමුතු බව කියන භාෂා තුනෙන්ම ගැයූ ගීයක් එක් කලෙක අප රටේ ජනප්‍රිය වූයේ ය. ඒ චන්ද්‍රිකා සිය සාම වැඩපිළිවෙල ආරම්භ කළ කාලයේ ය.

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා… වාද බේද නැති ලස්සන ලොව හෙට අපට උදාවේවා…

එය ගැයුමෙන් ද ඇසුමෙන් ද ආශ්වාදයක් සිංහල දෙමල හා ඉංග්‍රිසි පමණක් දත් සියල්ලන්ටම ලැබිය හැකි විය. අපි නොදන්නා දෙමළෙන් එකල එය කිව්වා අපට මතක ය.

ඒ සුන්දර මතකයන් මිනිසුන් තුළින් ඉක්මණින් ගිලිහි යන්නේ ඇයි ද යන්න අපට ප්‍රශ්නයකි.

ජාතික ගීයේ අදහස රට ගැන ඇල්මක් ඇති කිරීම ය. තමන්ගේ මව් භාෂාවෙන් තරම් ඒ ඇල්ම වෙන නොතේරෙන බසකින් කියන විට ඇති නොවේ. අප පාලියෙන් ගාථා කියනව වගේ ය. ගාථාවලින් භාගයක් නිකම් කුණුහරුප වගේ දැනෙන්නේ ඒ නිසා ය.

දැන් ඉතින් දෙමළාට තමන්ගේ හදවතට දැනෙන ජාතික ගීයක් අවශ්‍ය නම් කළ යුත්තේ වෙනම රටක් ඇති කරගෙන එහෙම ගීයක් ගැයීම ය.

මරු නෙ?

Advertisements
Posted in: Uncategorized