විසිඑක් වෙනි සියවසේ හොදම දේශපාලන සොයා ගැනීම

Posted on December 19, 2010



විමල් වීරවංශ ඇමතිතුමා නැවතත් කණ්ණාඩිය ඉදිරියට ගියේ සියල්ල හරි දැයි හගිස්සවා දැන ගැනීමට ය. ඔහු නැවතත් කෝට් බෑය සැකසුවේ ය. ටයි පොල්ල බෙල්ලට තද කළේ ය. ජෙල් ගා පීරු කොණ්ඩය අතින් නැවත පිරි මැද්දේ ය. සියල්ල හරි යයි සෑහීමකට පත්වූ පසු කාමරයෙන් එලියට බැස්සේ කෝ කට්ටිය ලෑස්ති ද කියා අසමිනි. බස් ලෝඩ් එකක සෙනග ඇමති නිවසට එක් වී තිබුනේ කටුනායක ගුවන් තොටුපල වෙත සිය ඇමති සහෝදරයා සමග යෑමට ය.

තරහ මරහ තියා ගැනීම අපේ සිරිත නොවේ. විමල් තමාටම කියා ගත්තේ ය.

ලොක්කා වුනත් අධිරාජ්‍යවාදීන්ට බණින කටින්ම ඔක්ස්ෆර්ඩ් සරසවියේ කතා කිරීමට හිත හදා ගැනීම ආදර්ශයට ගත යුතු වැඩකි. ගම්වල වුනත් අවුරුද්දට බුලත් අතක් දීල තරහ මරහ ඉවරකරගන්න සිරිතක් තිබේ. ගෙදරට එන මිනිහාට පස්ස හැරවීම හරි නැත.

බෑන් කී මූන් අවසාන වර හමුවු අවස්ථාවේ අතට අත දුන් හැටි තවමත් මතක ය. එතුමා ඊළගට ලංකාවට සැපත් වන කොට නිල උත්සවය කොහොමටත් රජමාලිගාවේ තියෙනු ඇත. එදාට නැවතත් අතට අත දීමට නම් පැරණි කෝන්තර අයින් කරගත යුතු ය. මේ එළැඹ ඇත්තේ ඊට අගනා අවස්ථාවකි.

බෑන් කී මූන්ගේ පැනල් එක ලංකාවට වඩින අවස්ථාවේ මුලින් මුලිච්චි වී පිළිගන්නා ලෙස ලොක්කා තමාට කී විට මුලින් නම් නිකම් මොකද්ද මොකද්ද වගේ දැනුනේ ය. ඒත් දැන් එහෙම නැත. ලොක්කාගේ වැඩපිළිවෙල එක් අතකින් හරි ය. ලජ්ජා බය දෙක තියාගෙන මේ දේශපාලනය කරන්න බැරි ය.

පත්තර කාරයෝ මොනවා කියයි දැයි මුලින්ම තිබුනේ සැකයකි. එක අතකට නම කොහොම වැටුනත් වැටෙනවා නම් හොද ය. මේ බව කියා දීමේ ගෞරවය ඇත්තටම මර්වින් අයියාට හිමිවිය යුතු ය.

පැනල් එකට ලංකාව පෙන්විය යුතු යැයි විමල් සිතී ය. ඇත්තටම ඉස්සෙල්ලාම පෙන්විය යුත්තේ සීගිරිය ය. තමා වුනත් සීගිරිය දැකල තිබුනා නම් මුල්කාලයේ දී එසේ අයාලේ යන්නේ නැත.

කරුණා තායිලන්තයේ ගියා වගේ තත්වයක් පැනල් එක සීගිරියට ගියහම වුනොත් සියල්ල ගොඩ ය.

බලාගෙන ගියහම අපි පැනල් එකට විරුද්ධත් නැත. විරුද්ධ නැත්තේත් නැත. ඒ දෙබිඩි පිළිවෙත මහින්ද චින්තනය නමින් එළි දැක්වීම ලංකාව ලද ලොකුම ජයග්‍රහණය නොවේ ද? ඒ යටතේ කිසි දෙයක් හරිහැටි කිව නොහැකි ය. ඒ නිසා ඊට ඕනෑ දෙයක් ඔට්ටු ය. අමාරු ප්‍රතිපත්ති තිබුනොත් ය. ඒවා නැති තරමට ජීවිතය සැහැල්ලු ය. පහසු ය. මහින්ද චින්තනය විසිඑක්වෙනි සියවසේ හොදම දේශපාලන සොයා ගැනීම වන්නේ ඒ නිසා ය.

එයින් ලද පිටුබලය ඇතිව මරාන්තික උපවාසයක් කර තමන් විරුද්ධත්වය පළ කළ බෑන් කී මූන්ගේ පැනල් එක බදාගෙන තමා විසින්ම පිළිගන්නා අයුරු විමල් සිතින් මවා ගත්තේ ය. ඔහුගේ තොලගට සිහින් සිනහවක් නැගිණ. ලැජ්ජාව දැන් අහලකවත් නැත.

කපන්න බැරි අත සිඹිය යුතු යැයි කියන ගැමි උපහරණය විමල් සිහිපත් කළේ ය. කොහොමටත් දැන් රට පාලනය කරන්නේ ගමේ ක්‍රමයට ය. සුද්දා මේ හදුන්වාදෙමින් තිබෙන නව රාජ්‍ය පාලනය ඉගෙන ගැනීමට හෙට අනිද්දා කට්ටිය මෙහෙ එවනු ඇත්තේ ය. කාට ද ආඩම්බර?

Posted in: Uncategorized