පව් අප්පා! හෙට අනිද්දා කැබිනට් සගයෙකුට දැලිපිහි සංග්‍රහයක් ලැබීමට නියමිත ය!

Posted on December 18, 2010



කටට එන එකක් ඔහේ කියන්නට පුරුදු වී සිටින ආචාර්ය මර්වින් සිල්වා ගරු ඇමතිතුමා මහජන කටයුතු අමාත්‍යංශය බාර ගෙන තිබෙන්නේ ද තමන්ගේ ඒ පුරුද්ද තවමත් පවතින බව මහජනතාවට කියා පාමින් ය.

බතික් කමිසයක් ඇදගෙන පැමිණිම නිසා කැබිනට් මණ්ඩලයෙන් එලියට ඇද දැමු මේ කොල්ලා එසේ එලියට ඇද දැමූ ප්‍රින්සිපල් සමග තරහ නොවී ඒ බව ගම පුරා ප්‍රචාරය කළ ඉස්කෝලේ කොල්ලන් සමග තරහ වී ඇත්තේ ය. නිකම්ම තරහ වුනානම් කමක් නැත. මේ ආරංචිය ප්‍රචාරය ක‍ළ එකා අහුවුනොත් දැලි පිහියෙන් කට කපන බව ද කියමින් අමතර තර්ජනයකුත් සමග ය.

තවමත් ස්කොලෙ  යන කාලෙ පසුවන නිසා ඕවා කොලුකමට කළ කී දේවල් යයි සිතා අප විසින් මේ සංසිද්ධිය ඉවත දැමිය යුතු ද? මේ මිනිසාට අවශ්‍ය ප්‍රසිද්ධිය නිසා මෙයින් ද පොර අපේක්ෂා කරන්නේ එය යැයි සිතා මෙය අමතක කළ යුතු ද?

ආශ්චර්යයක් ඇති කිරීමට නොයා පරණ ගමට බර කරත්තයකින් යන්නට අප සූදානම් වන්නේ යැයි කල්පනා කළොත් නම් මේ සියලු විකාර අමතක කර ජීවත් විය හැකි ය. කොහොමටත් ඉස්සර කාලේ ගමේ  ඔවැනි චණ්ඩි බොරු පූචානම් දොඩමින් ගම්මුන්ට විනෝදය සැපයූ බව අප අසා ඇත. එහෙත් ආසියාවේම ආශ්චර්යය ඇතිකරන්නට යන මේ මොහොතේ ඒවා ගම කතා හැටියට සළකා ඒ තරම් සුලුවෙන් අමතක කළ නොහැකි ය.

කතාවක් ප්‍රසිද්ධ කළා යැයි කියා දැලි පිහියකින් කපන්නට මේ රටේ නීතියෙන් කාට හෝ අවසරයක් තිබේ ද? බීගත් චණ්ඩියෙක් ගමේ ක‍ඩ පිලේ මේ බව කීවේ නම් මේ කණින් අසා අනිත් කණින් පිට කරන්නට තිබූ කතාවක් වුව ද රටේ කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් තුළින් මේ බව කියන විට අපුලක් නොදැනෙන්නේ මේ රටේ දේශප්‍රේමීන් සැබෑ ලෙස නිර්වින්දනය වී ඇති නිසා ද? නැත්නම් රටේ බහුතරයක් කසිප්පු කාරයින්ගේ මානසිකත්වයෙන් පෙළෙන නිසා ද?

මේ ප්‍රශ්නය අප මතු කරන්නේ ආසියාවේ ආශ්චර්යය හෙට අනිද්දා බිහිවෙතැයි සිතා ගෙන ඉන්නා දේශප්‍රේමීන්ගෙනි. දැන්වත් මේ කට වහන්නැයි කියන්නට තරම් කොන්දක් තොපට නැති ද?

ආණ්ඩුවෙන් අප අසන්නේ ආණ්ඩුව මහජනයා අතර අප්‍රිය කිරීම සදහා මහජන කටයුතු පිළිබද කැබිනට් ඇමතිවරයා පත් කර තිබේ දැයි කියා ය. මෙහෙම කැබිනට් ඇමතිවරු සිටියදී ආණ්ඩුව වනසන්නට තවත් සතුරන් පිටින් අවශ්‍ය යැයි අපට නම් හැගෙන්නේ නැත.

අප එහෙම හිතුවත් මේත් තව වීදි නාට්‍යයක් දැයි තවම හරියට දන්නේ නැත. ඒක දැනගන්නට නම් ශ්‍රීලනිප විනය කමිටුව විමසිය යුතු ය. ඒක නින්දේ ද?

Posted in: Uncategorized