එහෙම බැලුවහම ඔය කෝකත් හරි ය. හරිත් නැත.

Posted on December 13, 2010



ආණ්ඩුව හිටපු ගමන් නින්දෙන් නැගිට හාල්වලට පාලන මිලක් දාමින් රට පාලනය කරන බවක් පෙන්නුම් කරන්නේ ය. වෙළෙන්දන් ද පාලන මිලට ඇති හාල් කඩයේ පිටුපස තබමින් කීරි සම්බා ගෝනියක් එලියේ තබා තමන් පාලන මිලට එහා නම් හාල් විකුණන්නේ නැති බව කියා පාන්නේ ය. ඒ නිසාම කඩවල්වල හාල් පාලන මිලට ඇත්තේත් නැත. නැත්තේත් නැත.

‍පොල් අලෙවි මණ්ඩලය හදිසියේ ලොරියකින් ඇවිත් පොල් ගෙඩිය රු 30 ගානේ පොල් විකුණන්නේ ය. එහෙම වෙලාවට මාධ්‍යයත් එතැනට ප්‍රාදුර්භූත වෙනවා ය. පත්තරවලින් අප පොල්ගෙඩිය රු 30ට විකිණෙන බව දැනගන්නවා ය. ඒත් ඉක්මණින් ලොරියේ පොල් ඉවරවෙනවා ය. එහෙම බැලුවහම පොල් ලාබෙට නැත්තේත් නැත. ඇත්තේත් නැත.

ආණ්ඩුව මතට තිත තියනවා ‍වගේ ඉන්නේ ය. මිනිස්සු ද ඩිංගක් විතර දාගන්නා ගමන් අනේ අපි ඕවාත් බොනවා දැයි අසන්නෝ ය. මත්පැන් නම් දිගටම ගලන්නේ ය. කොහෙන් කොහාට දැයි පැහැදිලි නැතිවම ගලන්නේ ය. සමහර දිනවල මතට තිත තියෙන ආණ්ඩුවේ ලොකුම තැනින් ද ඒවා ගලන්නේ ය.

එහෙම වෙලා අහුවුනාම මෙහෙම කියවෙන්නේ ය. බිව්වාට නරකකුත් නැත. නරකක් නැත්තේමත් නැත. එහෙම කියන්නේ හෙළ උරුමයේ නායක තැනම ය. ඇත්තටම ධර්මරාජ්‍ය ගොඩ නැගීමට නියමිත නායකත්වය ඇත්තේ ද එතැන ය. සූදුව ගැන වුනත් ඔය හැමෝම කියන්නේ එහෙම ය. නරකකුත් නැතිවුනාට නරකක් නැත්තේමත් නැත.

පොලීසිය රථවාහනයක් හදිසියේ අල්ලමින් නීතිය රකිනවා වගේ පෙන්නුම් කරන්නේ ය. රියැදුරෝ ද පොලීසිය පෙනෙන්නට ඉන්නා තැනක රතු එලියට නවත්වමින් අන් තැනක හොරෙන් රිංගා යමින් ද තමන් නීතියට අවනත බව පෙන්වමින් සිටින්නෝ ය. හදිසි අනතුරුවල නම් ඉවරයක්නැත. මෙතරම් නීති ගරුක රටක්ව තිබියදීත් මක්නිසා ‍ඒවා වෙන්නේ දැයි හරිහැටි පැහැදිලි නැත.

විමල් බ්‍රිතාන්‍ය ම‍හ කොමසාරිස් හම්බුවුනොත් කරන දේ දන්නා බව කියා පාන්නේ ය. පොලීසිය ද මුලිච්චි වෙන්න නම් එපා යැයි කියා විමල්ට වැටවල් බදින්නේ ය. එක්කෙනෙක් හදන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අල්ලා ගලග්‍රහණයෙන් ගන්නට ය. අනෙකා ඔහුගේ ආරක්ෂාවට ය. එහෙම බලාගෙන ගියහම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ට ආරක්ෂාවක් ඇත්තේත් නැත. නැත්තේත් නැත. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට යන්න යැයි කියන්නේ ද නැත. නොකියන්නේ ද නැත.

රනිල් පක්ෂය සංශෝධනය කරනවා වගේ පෙන්නුම් කරන්නේ ය. සජිත් ලා ද පක්ෂයේ සංශෝධනය වෙනුවෙන් පෙනී සිටිය ද නායකත්වය සමග එහෙමට ආරවුලක් නැතැයි කියා පාන්නට මෙන් හිටි ගමන් පක්ෂ වැඩකට අත් වැල් අල්ලන්නේ ය. සංශෝධනය වෙන්නේත් නැත. සංශෝධනය නොකරන්නේ නම් යනවා යයි කියූ අය යන්නේත් නැත.

ඒකාධිපති ප්‍රයත්නයන්ට සමසමාජ කොමියුනිස්ට් වාසුදේව පක්ෂවල එකගත්වයක් නැතැයි පෙන්නුම් කරන විට සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලට ජේෂ්ඨ ඇමතිපට්ටම් ලබා දෙමින් එහෙම කරාට අපේ තරහක් නැතැයි ජනපතිතුමා ද කියන්නේ ය. සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවේ ඇත්තේත් නැත. නැත්තෙත් නැත.

සමසමාජ කොමියුනිස්ට් වාසුදේවලා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කන්නේත් නැත. ගරු නොකරන්නේත් නැත. ඔවුන්ගේ ආණ්ඩුව ද ඊට ගරු කරන්නේත් නැත. නොකරන්නේත් නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේත් නැත. නැන්තේත් නැත.

ඩෙංගු මදුරුවන් මර්දනය කරන බවක් සෞඛ්‍ය ඇමැතිතුමා ප්‍රදර්ශනය කරන්නේ ය. වැඩි වැඩියෙන් පැටවු ගහන මදුරුවන් කණ ලගින් යන්නේ ඔහොම ගියාට අපි එහෙම අනින එවුන් නොවේ යයි කියා ගෙන ය. පත්තර බැලුවහම මදුරුවන් වැඩිවන්නේත් නැත. පොතක් පත්තරයක් බලන විට කුරු කුරුවේ අඩුවක් ඇත්තේ ද නැත.

ආණ්ඩුව පඩි දෙනවා වාගේ පෙන්නුම් කරන්නේ ය. රජයේ සේවකයෝ ද ඊට ප්‍රතිචාර දක්වමින් වැඩ කරන්නා වාගේ පෙන්නුම් කරන්නෝ ය. එහෙමකටැයි කියන්නට කෙරෙන්නාවූ වැඩත් ද නැත. එහෙමකටැයි කියන්න පුලුවන්පඩියක් ද ලැබෙන්නේ නැත. රටක් නම් යන්තමින් තවමත් ඉතිරිව තිබේ. ඒ වුනාට එහෙමටැයි කියන්නට පුලුවන් රටක් ඇත්තේත් නැත. නැත්තේත් නැත.

ප්‍රශ්නය කවුරු කාව රවටනවා ද යන්න හරිහැටි පැහැදිලි නොවීම විතර ය.

ඇත්තටම කියනවා නම් අපේ රටේ මිනිසුන් රැවටෙන්නේත් නැත. නොරැවටෙන්නේත් නැත. එහෙම බැලුවහම ඔය කෝකත් හරි ය. ඒත් බලාගෙන ගියාම හරිත් නැත.

Posted in: Uncategorized