ඇල්කෙමියාට වුවමනා වූ යහපත් මිනිසුන්ගේ කැබිනට් මණ්ඩලය

Posted on December 12, 2010



අප අඩවියට නිතර යනෙනවා යයි කියන ඇල්කෙමියාට අප තේරුම් ගැනීම අමාරු වී ඒ සදහා ගනු ලබන උත්සහයක් ලෙස අපෙන් අසා ඇත්තේ හොද පාලනයක් සදහා අප යෝජනා කරන ඇමති මණ්ඩලය කාගෙන් සමන්විත විය යුතු දැයි කියා ය. අප ගැන ඇතිකරගත් මහත් අනුකම්පාවෙන් යුතුව ඒ සහෘදයා පක්ෂ විපක්ෂ ඕනෑම තැනකින් ඒ සදහා සුදුස්සන් වෙයි නම් පත් කරන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ අපගේ අව්‍යාජත්වය පිරික්සනු පිණිස ද මිට වඩා හොද ඇමති මණ්ඩලයක් හදන්නට බැරි යයි අපිට ඒත්තු ගැන්වීම පිණිස දැයි පැහැදිලි නැත. ඒ මොක වුනත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ය.

බූරු කුට්ටම කොහොම ඇනුවත් එකම නොවේදැයි අන්වර්ථ උත්තරයක් දිය හැකිව තිබෙද්දීත් අපි ඊට ටිකක් එහා විස්තරයක් ද එක් කිරීමට කල්පනා කළෙමු.

යහපත් පුද්ගලයින්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නම් රටේ පාලනය යහපත් අතට හැරෙනු ඇතැයි යන්න යථාවක් බවට පත් නොවෙන යහපත් සිතිවිල්ලක් පමණකි. මිනිසුන් යහපත් නම් එවන් රටක පාලකයින් ද යහපත් වෙයි. මිනිසුන් යහපත් නොවන රටක පවා පාලකයා යහපත් නම් අයහපත් මිනිසුන් යහපත් මිනිසුන් බවට පත් කිරීමේ හැකියාව පාලකයාට ලැබෙයි. ඒ මිනිසුන් පාලනය කරන යාන්ත‍්‍රණ සකස් කිරීම හරහා ය. ඒ යාන්ත‍්‍රණ දිගින් දිගට ක‍්‍රියාත්මක වේ නම් ඒ හරහා යහපත් පුරුදු ඇතිවෙනු ඇති අතර එය යහපත් මිනිසුන් ඇතිකිරීමට ඉවහල් වේ. ඒ දිගු කල් ගතවන ගමනකින් පසුව ය. එවිට යහපත් පාලකයින් දිගින් දිගට ගොඩ නැගීමේ හැකියාව මිනිසුන්ට ද ලැබේ. ඒ හරහා රට දිගින් දිගට ඉදිරියට ගෙන යා හැකි ය.

එහෙත් වත්මන් තත්වය යටතේ (අයහපත් මිනිසුන්ගෙන් යුත් රටක)  යහපත් පාලකයෙක් ලැබීම ඉතා දුර්ලභ ය.

පවතින සන්දර්භය යටතේ යහපත් මිනිසුන්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ අභිප‍්‍රාය ඒ නිසාම ඵල දරන එකක් නොවේ. ඒ නිසා අපේ පරිශ‍්‍රමය වන්නේ යහපත් මිනිසුන් ගොඩ නැගීම ය. අප රජය විවේචනය කරමින් කරන්නේ ඒ වැරදිවලින් තොර පාලනයක යහපත් භාවය මිනිසුන්ට හගිස්සවීම ය. අපගේ විවේචන වත්මන් රජයට එල්ල වුව ද ඉදිරියේ පත්වන රජයක් පවා ඒවා නිසා පාලනය වනු ඇතැයි අපේක්ෂිත ය.
බොහෝ දෙනෙකු විකල්ප හොයද්දී අප ඒ ගැන නොවෙහෙසෙන්නේ එහෙයිනි.

විචාරය නිර්මාණයේ මුල් පියවර ය.

විචාරය හරහා යහපත් නිර්මාණයක් බිහිකිරීමේ පාදම වැටෙන්නේ ය.

අපගේ මේ අභිප‍්‍රාය නොතේරෙන බොහෝ දෙනෙකු අප ඉන්නා කදවුර කුමක් දැයි මහත් වුවමනාවෙන් සොයති. ඇත්තටම අපට කදවුරක් නැත. මේ ජරාජීර්ණ දේශපාලන ව්‍යාපාර එකක්වත් මේ රටේ විකල්පය වෙන්නට සුදුසුකම් ලබා නැත. එහෙත් එය ආණ්ඩුවේ වැරදි ඉවසීම සදහා අපි සමාවට කරුණක් කර නොගන්නෙමු.

මේ ගැන බොහෝ සටහන් ලියා ඇති මුත් තවමත් අප අඩවියට ගොඩ වදින පාඨකයින් නැවත නැවතත් මේ ප‍්‍රශ්නයම නගන්නේ අපගේ මේ අස්ථානය සාමාන්‍ය නොවන බැවින් බොහෝ දෙනෙකුට එය තේරුම් ගැනීමට දුෂ්කරව ඇති නිසා ය.

අප රාමුවෙන් පිට පවතින නිසාම රාමුව තුළ සිටින අයට අප තේරුම් ගැනීම දුෂ්කර වීම එක් අතකින් අරුමයක් නොවේ. දිගින් දිගට අපත් සමග රැදුනොත් සමහර විට මේ කරන්නට හදන්නේ අහවල් දෙයක් ද යන්න සමහර විට පසක් කර ගත හැකි ය.

අප ඉල්ලා සිටින්නේ අප කියන කාරණා නිසා අර්බුදයට යන මතවාදයන් කුමක් දැයි හොදින් විමසන ලෙස ය. අපේ වෑයම ආණ්ඩුව විවේචනයටත් වඩා ඒ පසුපස තිබෙන බොල් මත වාදය බිද හෙලීම ය.

එවිට පත්වෙන ඊළග ආණ්ඩුවලටත් ඒ බොල් මතවාදයන් ඉදිරියට දාගන්නට හෝ එවායින් යැපෙන්නට බැරිවනවා නිසැක ය. එසේ වනු ඇත්තේ අපේ මේ වෑයම මීට සමාන තවත් දහසකුත් වෑයම් සමග අත්වැල් බැදගෙන ඉදිකරන යෝධ ආශයක් මෙන් සැදී තර්ජනයක් ලෙස නැගුනොත් ය. ඒ ආශයට එක් කරන තවත් බිදක් ලෙස මේ බ්ලොග් අඩවිය සළකනු දැකීම අපේ අපේක්ෂාව ය.

Posted in: Uncategorized