අබ්දුල් කාදර් නිදහස් ය. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය හිරේ ය.

Posted on December 8, 2010



එලියේ නම් නඩු එක පිට එක වැටේ. ඇතුලේ නම් තිබුන නඩු ද එකවර හැලේ.

පළමුවැන්න සරත් ෆොන්සේකාගේ ඉරණමත් දෙවැන්න අබ්දුල් කාදර් නම් වාසනාවන්තයාගේ ඉරණමත් මේ දෙක එකට ගත් විට ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයේ අපක්ෂපාතිත්වයත් කදිමට පෙන්වයි. ඒ දකින්නට කැමති අයට ය.

ඉතිරි අයට තියෙන්නේ නීතිය ඉදිරියේ සැවොම සමාන යයි කියන මහරජතුමාගේ ගාම්භීර හඩින් කරනු ලබන හරබර දේශනයට සවන් දී අප්පුඩි තැලීම දිගටම කරගෙන යන්න ය.

අබ්දුල් කාදර්ට වැටෙන්නේ සමෘද්ධියේ කෝටි ගණන් මුදල් වංචා කළ බවට නඩුවකි. ඒ නඩුව යු ඇන් පී ආණ්ඩුවට කෙළ වී අපේ ආණ්ඩුවක් පත් කළ පසු සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව නීතිපති විසින් ගොනු කර තිබුනු එකකි. කාදර්ට රජතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට සිතක් පහළ වුනේ ඔය අල්ල පනල්ලේ ය. නඩුවෙන් නිදහස් වීමේ හිතකින් නොව බොහෝ දේශපාලනඥයින් මෙන් රටට වඩාත් හොද සේවයක් කරන්නට නායකයෙකු හදිසියේ හදුනාගැනීම කරණ කොට ගෙන කාදර් පැන්නේ ය. ඒ මැතිවරණ උනුසුම ඉවර වීමටත් පෙර ය.

උත්කෘෂ්ඨ අරමුණක් සහිතව පැති මාරු කළ කෙනෙකුට විරුද්ධව නඩුවක් ගෙන යා හැකි නීතිපති වරයෙක් සිටිය හැකි ද? නොහැක්කේම ය. ඒ බව අපට පසක් කරමින් නීතිපති නඩුව අස් කර ගත්තේ ය.

දැන් කාදර් නිදහස් ය. රටේ අධිකරණ ක්‍රියාවලිය හිරේ ය. රජතුමා තව වටයකින් ශක්තිමත් ය. කොටින්ට නැගිටින්නට ඇති ඉඩ කඩ තවත් ඇහිරුනේ ය.

ශ්‍රි ලංකාව විතරක් දැන් නිදහස් ය. එහෙම කීම එක අතකට හරි මදි ය. අපට වුව ද පොල් ගෙඩිය බය නැතුව රුපියල් හැටකට ගැනීමේ අයිතිය තවමත් ඉතිරිව තිබෙන්නේ ය.

(ප.ලි. සක්විති සම්බන්ධ නඩුවත් නීතිපති විසින්ට තමන්ට පවරා ගන්නට යෙදුනේ කාදර් නිදහස් කර සතියක් ගෙවෙන්නටත් පෙර ය. සක්විතිවත් නිදහස් කරන්නට සූදානමක් පවතින්නේ ද යන්න එයින් අපට මතුවන ප්‍රශ්නයයි. එක අතකට නීතියේ මොනවා තිබුනත් දඩුවම් ලැබෙන්නේ පව්පින්වලට අනුව ය. එහෙමත් නැත්නම් ග්‍රහයන් නීච වීම අනුව ය. ඒ නිසා මේවා ගැන ඒ තරම් හිත කරදර කරගත යුතු ද නැත.)

Posted in: Uncategorized