තීරු බදු විතර ද ඉතිරිවාත් නොගෙවාම නිකම් ගෙනා හැකි ය!

Posted on December 7, 2010



කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට එන අය පිළිගන්නට සිය ගණනින් තබා එකෙකුවත් ගුවන් තොටුපල පර්යන්තයන්ට එහා යන සිරිතක් නැත. යන කවරෙකු හෝ ඉන් මෙහා නැවතිය යුතු ය. එය වැඩිපුරමත් කරන්නේ ගුවන් තොටුපළේ හා ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කළ යුතු නිසා ය.

ඒ අප සම්බන්ධයෙනි. එහෙත් රටේ ලොක්කන්ට ඒවා අදාළ නැත. රටේ නායකයා පිළිගන්නට එසේ යන අය හිටියොත් එය වළක්වන්නට හැකි ජගතෙක් ද නැත.

‍විශේෂයෙන් එතුමා එංගලන්තය ජයගෙන එන විට තත්වය තවත් භයානක ය. ඉතින් ඒ ජයග්‍රහණයේ මතින් හොදට පදම් වී එතුමා පිළිගන්නට ගුවන් තොටුපොළට ගිය අය හිස් අතින් එන්නේ නැතිව තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් අහුවෙන විදුලි උපකරණ ද ඒ එකවුන්ට් එකටම දාගෙන එන්නට කල්පනා කළෝ ය.

ඉතින් වළං කඩයට ගොඩ වැදුනු කුළු හරකුන් මෙන් පැන පැන ලොරියක බඩු පටවා ගත් කට්ටිය රේගුවටත් කොකා පෙන්නා ගුවන් තොටුපොළින් මෙපිටට පැන ගත්හ. එකතු කරගත් බඩු ප්‍රවාහනය සදහා භාවිතා කළ ලොරියට දමා ඇත්තේ පොල් පටවන විදිහට ය. අපට බැරි වුන නිසා ඉරිසියාවෙන් මේ කොල්ලය ගැන කතා කරනවා යයි සමහරු කියන්නට පුලුවන.

කතාවේ හැටියට රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු සිය අමාත්‍යංශ ලේකම්වරයාට මේ කොල්ලය ගැන නිල වශයෙන් වාර්ථා කර ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හයියෙන් පඩයක් ගියත් වායු දූෂණය ඇති කළා යයි කියන ආණ්ඩුවේ ඇමැත්තන් පමණක් නොව ඒවා හිරිකිතයක් නැතිව ‍ඔහේ දමන නිල මාධ්‍යයන් ද මේ ගැන කෙළ පොදක් හලන්නේ නැත.

මේ ප්‍රවෘත්තිය පළව තිබුනේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ ය. ඒකත් විශ්වාසයට ගන්න පුලුවන් දැයි අසමින් ආණ්ඩුවේ ගෝලයින් මේ කොල්ලකරුවන්ගේ ආරක්ෂාවට එන්නට පුලුවන.

තොපේ වත්තට, කඩයට හෝ ගෙදරට පැමිණ ඒවා ද කොල්ල කා අවසන අඹුදරුවන් ද ඉල්ලා සිටින තුරු ආණ්ඩුව රකින ඔය රැකිල්ල දිගටම කරගෙන යන ලෙස උන්ට කියනවා ඇරෙන්න ඒ ගැන දෙන්නට උත්තරයක් අපට නැත.

(එන පොට හොද නැත. ඇහැට කණට පේන දූ වරු පමණක් නොව ඇඹේනියන් ද පරිස්සම් කර ගැනීමට සිතා ගත්තොත් හොද ය. මිනිසුන් බලයෙන් මත්වූවිට මද්‍යසාරයෙන් මත්වුනාට ද වඩා භයානක නිසා ය. මුලදී උස්ස‍න්නේ සල්ලි කර ගත හැකි බඩු ය. ඊළගට උස්සනවා ඇත්තේ මොනවාදැයි කියන්නටත් වුවමනා ද?)

Posted in: Uncategorized