තවත් නාට්‍යයක් මෙසේ නිමා වූයේ ය.

Posted on December 5, 2010



සෝම හාමුදුරුවො උපාධියකට ලෝභවෙල රුසියාවට ගිහිල්ල නිකම් මැරුණ. හාමුදුරු කෙනෙකුට මොකට ද උපාධි. ඊට නොදෙවෙනි වැඩක්නෙ අපේ ජනාධිපතිතුමා කළේ. මොන එහෙකට ඔය තූත්තුකුඩියට ගියා ද? කතා කරන්නම ඕන නම් අපිට ඇහෙන්න කිව්ව නම් අපි නාහ ඉන්නව ද? නිකම් ඉල්ලන් කනවා. මෙහෙම කිව්වේ යු ඇන්පී කාරයෙකු නොවේ. ජෙප්පෙක් ද නොවේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වී ආ ආණ්ඩුවේම කෙනෙකි.

සාමාන්‍ය ආණ්ඩු පාක්ෂිකයෙකුට පවා තේරුම් ගත නොහැකි මේ බ්‍රිතාන්‍ය ගමනින් සිදුවූ නා ගැනීම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ නැටු කොහොඹ කංකාරියෙන් ද ජනපති තුමා එන විට කටුනායක දී එතුමා පිළිගෙන නැටූ වඩිග පටුනෙන් ද පසුව අවසන් විය.

දැන් තියෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ ය. ආරංචියේ හැටියට හොද නොම්මර එකේ භාෂාවෙන් විදේශ ඇමති ද පරිවාර සෙනග ද සංග්‍රහ ලබා ඇති අතර විදේස ඇමතිට ඒවා අජීර්ණ වී රෝහල් ගත වූ බව ද දැනගන්නට තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිංහල සංගමයේ සභාපති ගැන සොයා බලා වාර්ථා කරන ලෙස ද බලධාරීන්ට දන්වා ඇතැයි ද කියවේ.

මිනිසුන්ට බලය ලැබුනහම ඔලුව කොළොප්පන් වෙනවාය කියන්නට මෙය හොදම උදාහරණයකි. ඒ වුනාට ඔලුව කොළොප්පම් වූ අය සිතන්නේ වැරැද්ද ඇත්තේ තමන්ගේ නොව අනුන්ගේ බව ය. ඒ නිසා මේ අලකලංචිය කාගේ හෝ පිටින් ඇර තමන් නිදහස් විය යුතු ය.

අවසානයේ වරදකරුවන් වන්නේ (ඔය කොයි කවුරුන්වත් නොව) පැත්තක සිටි බ්‍රිතාන්‍ය රජයත් මේ බව වාර්ථා කළ අප වැනි පුගුලනුත් විය හැකි ය.

තවත් නාටකයක් අවසන් වී තිරය වැසෙන මේ අවස්ථාවේ අපට නම් කීමට ඇත්තේ එක් දෙයකි. ඒ ජනතාවගෙන් පැහැර ගන්නා බදු මුදල් වියදම් කරන විට රාජ්‍ය නායකයින් මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ය. විශේෂයෙන් අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ මේ රටේ ජනතාව ආණ්ඩුවට බදු ගෙවන්නේ හරිහමන් කෑමක් වත් නොකා ජීවත් වෙන අතරේ නිසා ය.

Posted in: Uncategorized