‍ගෞරවාන්විත බැහැර කිරීම

Posted on December 2, 2010



මහමිනිහෙකුට ලොලිපොප් එකක් දුන්නහම ඒ ලොලිපොප් එක කණේ පහරක් සේ දැනෙනු ඇත්තේ ය. ඒ තමන්ට පුංචි එකෙකු සේ සළකා කරන ලද මදි පුංචි කම නිසා ය. හරියට කාවන්තිස්ස රජ්ජුරුවන්ට කාන්තා ඇදුම් යැව්වා වගේ ය. එහෙම නැත්නම් මාග්‍රට් තැචර්ට පිරිමි ඇදුම් යැව්වා නම් ඒ හා සමාන ය. වෙන මුකුත්ම දෙන්නට නැත්නම් කළ යුතුව ඇත්තේ නොදී සිටිම ය. එය වඩාත් නම්බුකාර ය.

ගෞරවාන්විත කණේ පහරක වේදනාව සාමාන්‍ය කණේ පහරකට වඩා වැඩි විය හැකි ය.

මේ සියල්ල කීවේ පත් කරන ලද ජේෂ්ඨ උත්තමයින්ගේ හිතේ අමාරුව දිහා බලලා ය.

කාර්යමණ්ඩලයක් නැති කාර්යය නියමයක් නැති ඇමති පදවියක් දුන්නහම එය ජේෂ්ඨ යන සැරසිල්ලෙන් වසා පිළිගැන්වුව ද පිළිනු වී ඇති එකකැයි තේරුම් ගන්නට තරම් දේශපාලන පරිණත භාවයක් මෙය ලැබූ බොහෝ දෙනෙකුට ඇත.

ඇත්තටම ඕනෑම මස්කට්ටක් විසි කළේ වුව ද ස්වාමියාට වලිගය වනනවා ඇරෙන්නට බල්ලෙකුට කළ හැකි දෙයක් නැත. එහෙම හිතා විසි කළ මේ පදවිය ගැන මේ ජේෂ්ඨ උත්තමයින්ගේ ප්‍රතික්‍රියාව කෙබදු විය හැකි ද? එය අපේම ඉරණම ගැන අපට ද එක්තරා ඉගියක් සපයනු ඇත්තේ ය.

ඔවුන් එය බල්ලන් මෙන් බාර ගනිවි ද? මුකුත් නැති කොට අහලා ගියා මදැයි සිතා සැනසුනු ගැමි තරුණිය මෙන් එය නිහඩව ඉවසාවි ද? සරත් ෆොන්සේකා මුහුණ දුන් ඉරණම ගැන දන්නා කිසිවෙකුත් පැත්ත මාරු කර හිරේ වැටෙන්නට හිතන එකක් නැත. නහින දෙහින කාලේ හිරේ ගත කරන්නේ කුමකට ද?

එකම විකල්පය හේමකුමාර නානායක්කාර මෙන් දේශපාලනයෙන් මුලුමනින්ම සමුගන්න ය. බලය රසවිද ඇති මිනිසුන් මැරෙන තෙක් එයින් වෙන්කරන්නට බැරි ය. ඒ නිසා බොහෝ දෙනෙකුට ඒ අභිනිෂ්ක්‍රමණය අපහසු වෙනු ඇත්තේ ය.

එහෙම බැලුවහම බාර ගෙනත් බැරි ය. නොගෙනත් බැරි ය. අවසානයේ සියල්ල කිරා බලා පිළිනු ඉදුල් උන් විසින් රජතුමාට ප්‍රශස්ති ගයමින්ම වළදනු ඇත්තේ ය.

මේ රටේ වසන සියලු දෙනා විසින් අමාරුවෙන් වුව පිළිගැනීමට සූදානම් විය යුතු ඇත්ත ඒක ය. අපට ද වෙනත් විසදුමක් නැත. තියෙන්නේ දෙන දෙයක් අරගෙන අකමැති නම් නහය වසාගෙන වැළදීම ය. නැත්නම් වෙන්නේ බඩගින්නේ ඉන්නට ය.

Posted in: Uncategorized