අපේ රජතුමාට කොකා පෙන්නූ ඔක්ස්වර්ඩ් සංගමයට අපගේ විප්ලවීය විරෝධය!

Posted on December 2, 2010



කණේ පහරවල් වදින විට වදින්නේ හිටු කියලා ය. ඔක්ස්පර්ඩ් සංගමය අපේ රජතුමාට පිටු පෑවේ ය. ඒ ද ගියාට ද පසු ය.

සමහරු නම් කියන්නේ මෙය ලංකාවටම එල්ල කළ අතුල් පහරක් කියා ය. ඒ එනකම් ඉදලා අන්තිම මොහොතේ බැහැ යයි කියූ එකට ය. ගමක මෙහෙම දෙයක් වුනානම් පරම්පරා ගණනාවක් පැසවන වෛරයක් ඉතිරි වන්නේ ය.

අප කුමක් කළ යුතු දැයි ඔල්මොරොන්දම් වී ඉන්නා මේ වෙලාවේ සළකා බැලීම සදහා පියවර කීපයක් යෝජනා කළ යුතු යැයි සිතුවෙමු. හැම දාම චෝදනා නොකර මේ තීරණාත්මක මොහොතේ යමක් යෝජනා කරන එක අපේ යුතුකමක් මෙන්ද සැළකීමු.

  1. මින් මත්තට ඔය අයිල රටවලට අපේ නායකයින් නොයා යුතු ය.
  2. අපේ රටවලට එන්නට අහන වෙලාවට උන්ට වීසා නිකුත් නොකර සිටිය යුතු ය. නැත්නම් නිකුත් කර අන්තිම මොහොතේ අවලංගු කර දැමිය යුතු ය.
  3. උන්ගේ රාජ්‍ය නායකයින් සමග ඡයාරූපවලට සිටීමට පොර කෑම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු ය.
  4. උන් සමග වෙළද ගනුදෙනු කිරීම තාවකාලිකව හෝ නතර කළ යුතු ය. එයින් වැඩිපුර පාඩුව අත්වන්නේ උන්ට ය. අපට නම් මුකුත් නැත්නම් කොස්ටිකක් තම්බාගෙන කා වේල පිරිමසා ගත හැකි ය. කොහොමටත් ඕකුන්ගේ පිටි වහකදුරු වෙලා දැන් කාලයක් වෙලා ය.
  5. උන් සමග තානාපති සබදකම් වහාම ක්‍රියාත්මක වන සේ අත්හිටවිය යුතු ය. විකිලීක්ස් පෙන්වා දෙන පරිදි කරන තරමක් උන් අපට කරන්නේ වින ය. යුද අපරාධවලට අපේ රජතුමන් වැරදි කරුවා කිරීම හරහා රටට පහර දෙන ඇමරිකන් තානාපතිනිය සරත් ෆොන්සේකා යුද අපරාධවලට වගකිව යුතු යයි කියමින් ඔහු දේශප්‍රේමියෙකු බවට පත් කර ඇත. ඇමරිකාව බ්‍රිතාන්‍ය ආදී ඔය කවුරු කවුරුත් බලාගෙන ගියහම එක ය.
  6. බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලු දේශප්‍රේමී ලාංකිකයින්ට වහාම ලංකාවට පැමිණෙන ලෙස කියා සිටිය යුතු ය. එය අපේ රජතුමාට ගැසු කණේපහරට වන්දියට සරිලන හොද අතුල් පහරක් වනු ඇත්තේ ය.
  7. විලියම් කුමාරයාගේ මගුල් උත්සවයට යන්නට දතමැද ගෙන ඉන්නා අයට ඊට සහභාගී නොවන ලෙස බල කළ යුතු ය. ලස්සණ උත්සවයකට සහභාගීවීම අවස්ථාව එයින් නැතිව ගිය ද එය කළ යුතුම ය.
  8. බ්‍රිතාන්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නතර කළ යුතු ය. චීන බඩු තිබියදී සුද්දාගේ ආඩම්බර කම් මොකට ද?
  9. බ්‍රිතාන්‍ය ආධාර සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු ය. අපට උන් නැතිවාට දෙපයින් සිට ගැනීමට බැරිකමක් නැත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට කාර්යාල වසන්නට නියෝග කළ අපට ඕකත් කජ්ජක් ද?
  10. ඔක්ස්වර්ඩ් සංගමයට එරෙහි මාරාන්තික උපවාසයක් වහාම ආරම්භ කළ යුතු ය. විමලයා ඉදිරිපත් වෙන්නේ නැතිනම් චම්පිකයා ලවා හෝ එය කළ යුතු ය.
Posted in: Uncategorized