පැරසිටමෝල් පෙත්තක් පවා නැති ආණ්ඩුවේ ස්පිරිතාල

Posted on November 30, 2010



ආණ්ඩුවේ ස්පිරිතාලවල පවතින බෙහෙත් හිගයට හේතු මොනවාදැයි තේරෙන කෙනෙක් වෙත් නම් පහදා දෙත්වා.

පසු ගිය කාලයේ කළුතර නාගොඩ රෝහලට ලෙඩුන්ට දීමට පැරසිටමෝල් පෙතිවත් නොතිබූ බව වාර්ථා විය. හදිසි අනතුරු අංශයේ වාට්ටුවල කොන්ඩිස් වතුර පවා නොතිබුනු බව අප මීට ඉහත වාර්ථා කළෙමු. මේ එකක්වත් අධික මුදල් යන බෙහෙත් වර්ග නොවේ. ආණ්ඩුවට මුදල් නැති නිසා මේවා ගෙන්වා දෙන්නට නොහැකි යයි විශ්වාස කළ නොහැක්කේ ඒ නිසා ය. මේවා ගෙන ඒමට කාගේවත් උනන්දුවක් නැත්තේ ලාබ නිසා මේවායින් ලැබෙන කුට්ටිය ලොකු නැති නිසා ද? එසේත් නැත්නම් කලක සිට සෞඛ්‍ය අංශය ලෙඩ වී තිබීම ද?

පරණ සෞඛ්‍ය ඇමතිවරයාගේ කාඩ් කුඩු කරමින් වැඩ බැරගත් අයියෝ සිරිසේන ද බම්බු ගහනවා මිසක තමන්ගේ රාජකාරිය ඉටුකරන බවක් තවම පෙනෙන්නට නැත. එසේ නොවන්නට අපට මෙහෙම බෙහෙත් හිගයක් වාර්ථාකරන්නට සිදුවන්නේ ද නැත. මේවා දැන් මාධ්‍යවලට ද මාතෘකා නොවන තරමට සාමාන්‍ය දේ බවට පත්වෙමින් තිබේ. ඒ නිසා දෝ ඔවුහු ද මේවා ගැන සිය හඩ අවදි නොකරති.

නාගොඩ රෝහලින් වාර්ථා වන ආකාරයට ඇන්ටිබයටික්ස් වර්ග වල හිගයක් ද ඇත. මේ නිසා සමහර රෝගින්ට එයින් වර්ග කීපයක් දීමට සිදුව තිබේ. මේ නිසාම ශරීරයේ විශබීජ මේවාට ඔරොත්තු දෙන තත්වයක් ඇති කර ගැනීමට ඉඩ ඇත. ඒ දැන දැනත් වෛද්‍යවරුන්ට සිදුව තිබෙන්නේ රෝහලේ තිබෙන දෙයින් බෙහෙත් ඒ ඒ වෙලාවට නිර්දේශ කර ලෙඩුන් හැකි පමණ බලා ගැනීම ය.

අධ්‍යාපනය ටියුෂන් කඩයට සින්න වෙමින් තිබේ. සෞඛ්‍ය සේවය මෙසේ අල්ලපු වැටේ ෆාමසියට උගස් කර ඇත.

නිදහස් අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් වල පල්ලට ගිය කල ජනතාවට ඉතුරුවන්නේ ආණ්ඩුවේ කරන්නට තතනන ආශ්චර්යය පිළිබද බ‍ලාපොරොත්තුව පමණකි. එය පතට අට පතට සිද පානය කිරීමෙන් නිශ්චය සහනයක් ලැබිය හැක්කේ ය. ඒ හෙට ද අප ඉතිරිව සිටියොත් ය. එහෙම නොවුනොත්? එහෙම නොවුනොත් ප්‍රශ්නයක් ඇත්තේම නැත.

Advertisements
Posted in: Uncategorized