කුමන ඇමති ගාවට මා යා යුතු ද? දන්නා කෙනෙක් එය කියලා දෙනවා ද?

Posted on November 29, 2010



“ඇමති මණ්ඩලේ සයිස් ගැන සටහන් ලියන වෙලාවෙ නරක ද ලොකු එකාට රස්සාවක් හොයා ගන්න විදිහක් බැලුවොත්?“ මායියා අදත් හරහට ය. ලොකු එකාට රස්සාවක් නැති බව ඇත්ත ය. ඌ ආණ්ඩුවේ රස්සාවක් මිසක් වෙන එකක් කරන්නට කැමති නැත. ඒකට මං මොනවා කරන්න ද? එහෙම කියල ගෑණිගෙන් ගැලවෙන්නට බැරි ය.

“ඒක නෙවෙයි නරක ද අලුතෙන් පත් වෙල ඉන්න මානව සම්පත් ජේෂ්ඨ ඇමති ඩිව් ගුණසේකරව හම්බු වුනොත්?“ ගෑණිගෙ ඔලුවට අදහස් එන එකේ සීමාවක් ද නැත.

“මේක මහජන කටයුත්තක් නෙ. රස්සාවක් තාම ලැබිල නෑනෙ. එයාව හම්බවෙල වැඩක් නැති වෙයි. දැන් මේක සම්පතක් නෙවෙයි හිසරදයක්ය කිව්වොත් මොකද කරන්නෙ“. මම ද පසු නොබාමි.

“ඉතින් අනේ එහෙනම් මර්වින් ලොක්කව හම්බුවෙන්න කො. එයානෙ මහජන කටයුතු කරන්නෙ“. ගෑණි හදන්නේ මාවත් ගස් බදින්න ය.

“වැඩක් නෑ ගෑණියෙ. මහජන කටයුත්තක් වුනත් අපි ඉන්නෙ නාගරික පළාතක නෙ. උන්දැ කියයි. නාගරික කටයුතු ජේෂ්ඨ ඇමතිව හම්බුවෙන්න කියල“. මර්වින් එක්ක විදී නාට්‍ය රගපාන්නට මා අකමැති යයි කිය හැකි ද?

“හරි එහෙනම් පවුසිව හම්බුවෙන්නකො“.

“ඈ ගෑණියෙ, පවුසිටත් දැන් එහාට මෙහාට ඇදල මේ රස්සාවත් එපා වෙල ඉන්න වෙලාවෙ අපේ රස්සා ප්‍රශ්නය අහවි ද?“ මේ දවස්වල පවුසිගේ දුක්බර මුහුණ දැක්කහම ආයෙ අපේ දුකත් උන්දෑට කියන්න මට නම් සිත් දෙන්නේ නැත.

“අපි දැන් නගරෙ ඉන්න බව ඇත්ත. ඒ වුනත් අපි හොද ගං කාරයො නෙ. නරක ද මේක ග්‍රාමීය කටයුත්තක් විදිහට සකස් කරල ආතාවුද සෙනෙවිරත්න ගරු ජේෂ්ඨ ඇමති තුමාට ඉදිරිපත් කරොත්?“

“ඔහොම බලාගෙන ගියහම මුලු ඇමති මණ්ඩලයටම මේකේ සම්බන්ධයක් තියෙනව තමයි. ඒත් හැට හුටහමාරක් ඉන්න කොට කාට කියන්න ද කියල තෝරගන්න එකත් ලේසි පහසු එකක් නෙවෙයි. පොඩ්ඩක් නොවෙයි ගොඩක් කල්පනා කරන්න වෙනව. මේක හොදට බොන්න ඕන ප්‍රශ්නයක්.“

“බොන එක ගැන නම් කතා කරන්න එපා. බදු වැඩි කරල තියෙන්නෙ ජනතාව ඔය ගින්දර වතුරෙන් බේරගන්න. බිව්වහම ඉස්පිරිතාලෙට ගියත් නිකම් දෙන බේතුත් නෑ. කොහෙද මේ මොනව කරත් මේ මිනිසුන්ව හිත් වද්දන්න පුලුවනෑ.“

“කෝ ඔය පත්තර පඩංගුව දෙන්නකො. හරි ඇමතිව තෝරලාම යන්න.“ බේරෙන්න විදිහක් නැත. බෝතලයක් ගැන කියල වැඩේ අනාගත්තාට පසු දැන් නම් වැඩේට බහින්නම වෙනවා ය.

“ඔයා ඇද ඇද හිටියොත් තෝරගන්න වෙන්නෙ සීයකින්. දැම්ම පටන් ගත්තොත් නම් වැඩේ ලේසි වෙයි. නැත්නම් ඉතින් ඇමති කෙනෙක් තෝරගන්න කොටම ඇමති මණ්ඩලය ආයෙ මාරුවෙල  තියෙයි.“

ගෑණුන්ට ඕනෑ ක්ෂණික උත්තර ය. ඒ වුනාට හරි ඇමැත්තා ලගට නොගියොත් මට වෙන්නේ ඇමති කාර්යාල අතර මාරුවෙමින් කොයි ලෝකෙට වත් නැති ගන්ධබ්බයෙක් වගෙ ඉන්න ය. මේ වැස්සේ එහෙම රස්තියාදු වෙන්න ගියොත් මැරෙන්නේ හෙම්බිරිස්සාව හැදිලා ය.

කුඩා කැබිනට් මණ්ඩලයක් දෙනවා යයි කියා බලයට අවුත් දැන් ලොකු කැබිනට් මණ්ඩලයක් අපේ ඔලුව මත කඩාපාත් කිරීම ගැන ආණ්ඩුව සමග කෝන්තරයක් තිබුනේ වුව ද අදාළ විශය අයිති ඇමතිවරයා තෝරාගන්නට අමාරු ජනයාට පිහිට වෙන්නට වෙනම අමාත්‍යාංශයක් හදා ඊට තව ඇමතිවරයෙක් පත් කිරීම ගැන නම් මගේ විරුද්ධයක් නැත. දැන් නහයට උඩින් ගිය ඇමති මණ්ඩලය ඔලුවට උඩින් ගියාට ප්‍රශ්නයක් ද නැත. විශය යොමු කිරීමේ ඇමති හැටියට එම ඇමති පදවිය වුවමනා නම් නම් කළ හැකි ය.

Posted in: Uncategorized