අජිත් ද මෙගාස්ටාර් – මහින්ද ද මෙගාස්ටාර්?

Posted on November 28, 2010



මෙගාස්ටාර් තරගය ඉවරවී දෙපෝයක් ගෙවෙන්නට ආසන්න ය. එහෙත් ස්වර්ණවාහිනීය අතෝරක් නැතිව මෙගා ස්ටාර් අජිත් වීරසිංහ බව අපට කියන එක නවත්වා නැත.

ඒක දාන හැම වෙලාවකම අපට නම් හිතෙන්නේ ස්වර්ණවාහිනියටවත් ඒ ගැන විශ්වාසයක් නැති බව ය.

දැන්නම් අහල අහලාම ඒක ඇත්ත වෙන්න පුලුවන් යයි තව මොහොතකින් අපටම හිතෙන්නේ ය.

පොඩි පරහකට ඇත්තේ අජිත්ට ෆයිට් එකක් දෙන්නට වෙනත් ස්ටාර් කෙනෙක් ඉදිරිපත්ව සිටීම ය. ඒ ආණ්ඩුවේ මාධ්‍ය ඒකකයට පින්සිදු වෙන්නට ය.

ඒ අය ද උදේ හවස කියන්නේ මහින්ද මෙගාස්ටාර් බව ය. ගුවන් විදුලියෙන් ද රූපවාහිනියෙන් ද මේ දවස්වල අනිත් අයට ගහන්න තහනම් පෝස්ටර්වලින් ද කටඅවුට්වලින් ද ඔවුන් ඒ බව කියමින් ඉන්නේ ය. වැඩිහිටියන්ට පමණක් නොව ළමුන්ට ද හගිස්සවමින් සිටින්නේ ය.

ඒ ඒ බව අපට තවම ඒත්තු ගියේ නැතැයි සිතන නිසා ද නැතිනම් තමන්ටම ඒ ගැන විශ්වාසයක් නැති නිසා දැයි අප දන්නේ නැත.

එහෙම බැලුවහම ස්වර්ණවාහිනීයටත් ආණ්ඩුවේ මාධ්‍ය ඒකකයටත් ඇත්තේ එකම ලෙඩකි. එහෙම නැත්නම් තමන් විහින් හදාගෙන ඇති ලෙඩේට දෙගොල්ලන්ම දන්නේ එකම බෙහෙතකි. එහෙමත් නැත්නම් දෙදෙනාම සරණ ගොස් ඇත්තේ එකම ගුරෙකි.

ඉතිහාසය බලන විට පෙනෙන්නේ ඒ ගොබෙල්ස් විය හැකි බව ය. හිට්ලර් සරසා ජනතාවට ඉදිරිපත් කළ ගොබෙල්ස් විය හැකි බව ය.

පුංචි පරහකට ඇත්තේ කවදා හෝ ඇත්ත මුලිච්චි වන බව ය. හිට්ලර්ට ඊට මුහුණ දීමට සිදුවුනේ ය. ස්වර්ණවාහිනිය ඔටුනු පැළදු අජිත්ට ද ආණ්ඩුවේ මාධ්‍ය සගයින් ඔටුනු පළදින මහින්දට ද ඊට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය.

හුලං පිරවූ කල බැලුම ලස්සන ය. සිත් ඇදගන්නා සුලු ය. දිගටම පුම්බනවිට සිදුවන්නේ පුපුරා යාම ය. පිපුරුවාට පසු ඒ රබර් කෑල්ල දෙස බලනු ඇත්තේ කුණු අතුගාන මිනිසුන් පමණකි. මේ පුම්බන බැලුම්වල ඉරණම ද එය ය.

සක්විතිලා ද දඩුවම් මුදලාලිලා ද කොතලාවලලා ද පිරමිඩ් මුදලාලිලා ද පුම්බන්නේ එවැනි බැලුම් ය. ඒවාට වසග වෙන මිනිසුන් අවසානයේ සල්ලම් වෙන්නේ මුදලාලිලා සල්ලම් වෙනවාත් එක්ක ය. නැතිනම් ඊටත් කලින් ය.

Posted in: Uncategorized