වාකරේ වකූර් ය!

Posted on November 27, 2010



වාකරේ පොලිස් ස්ථානාධිපතිට හමුදාවේ ලොක්කකු විසින් පුටුවකින් පහර දී ඇතැයි යන පට්ටපල් කෙබරය තිබුනේ ලංකාඊනිව්ස්වල ය.

ඒ ප්‍රවෘත්තියෙන් කියන්නට හදන්නේ ලියාපදිංචි නොකළ රියැදුරු පුහුණු කරන ආයතනයක් පවත්වාගෙන ගිය කෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූලව පියවර ගැනීමට සූදානම් වූ බවත් ඔහු නිදහස් කරගැනීමට හමුදා නිලධාරි‍යා ගත් උත්සහය ව්‍යාර්ථ වූ තැන ඉන් උරණව මෙසේ පහර දුන් බවත් ය. මේ වෙන්නට පුලුවන් කතාවක් ද? බාර වූ කොටියන්ට පවා මානුෂිකව සැළකූ හමුදාවකින් තමන්ගේම සහෝදර ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට මෙසේ පහර දුන්නේ යැයි කිව්වහම කව්රු නම් මේ බොරු කතා විශ්වාස කරයි ද?

එතැනින් නතර නොවූ මේ ප්‍රවෘත්ති හදන්නා කියන්නේ මේ ගැන නීත්‍යානුකූලව පියවර ගැනීමට අධිකරණයට යෑමට පොලිස් නිලධාරියා ගත් වෑයම ඒ පළාතේ පොලිස් අධිකාරිවරයා මැදිහත් වී නතර කළ බව ය. මෙයත් විශ්වාස කළ හැකි කතාවක් ද? පොලිස් අධිකාරීව‍රයෙක් මෙවැනි වැඩක් වුනාට පසුව ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නැයි ඉල්ලා සිටීවිද? ලංකාවේ පොලිස් ඉතිහාසයේම මෙහෙම දෙයක් වාර්ථා වූවා නම් ඒ මුල්වරට විය හැකි ය.

බොරුව අන්තිමට අහුවන්නේ මෙහෙම ය. පොලිස් ප්‍රකාශක ද ‍හමුදා ප්‍රකාශක ද මේ ගැන හාංකවිසියක් නොදන්නා බව ප්‍රවෘත්තිය හැදූ එකාම අවසානයේ කියා තිබේ. මේ දෙපොල නොදැන පොලිසියේ හා හමුදාවේ මෙහෙම දෙයක් විය හැකි ද? එයින්ම මේ සියල්ල නිර්මාණයක් බව නොපෙනේ ද?

අපගේ දේශප්‍රේමී හමුදාව හා පොලීසිය මේ විදිහට එක එකාට එරෙහිව කොටවා ඉන් වාසි ලබන්නට මේ එන්ජීඕ කාක්කන් සැරසෙමින් සිටින බවට මීටත් වඩා උදාහරණ ඕනෑ ද?

අනේ අපොයි යුද්ධයක් ඉවර කරලාත් නිදහසේ ඉන්න නැති හැටි? මේ කුමන නම් කරුමයක් ද?

Advertisements
Posted in: Uncategorized