දෙවැනි පදවි ප්‍රාප්තියේ ජනපති කතාව ඇස්සවීමට කුඩා දරුවන්ට බල කිරීම

Posted on November 20, 2010



උතුරු කොරියාවේ කිම් ඉල් සුංගේ තවත් වැඩක් ලංකාවේ දී දැක ගැනීමේ භාග්‍යය ලංකාවේ ජනතාවට ලැබී තිබේ. ඒ දේශපාලන නායකයින්ගේ ඉලව්වලට දරුවන් සම්බන්ධ කර ගැනිම හරහා ය. ඉස්සරත් දරුවන් කලන්තෙ හැදී වැටෙන කම් දේශපාලුවන්ට වන්දිභට්ටකම් කරනු රිසි උන් විසින් අව්වේ සිටවා තිබූ බව ඇත්ත ය. එහෙත් රටේ සියලු ළමුන්ට මෙසේ කතා අසන්නට සැළැස්වීම මුලුමනින්ම අලුත් ලෙඩකි.

මේ වගේ කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධයක් ඉසිලූ රට උතුරු කොරියාව ය. අප කොහොමටත් ආදර්ශයට ගන්නා රටවල් අනුව උතුරු කොරියාව ආදර්ශයට ගැනීම ගැන අමුතුවෙන් පුදුම වෙන්නට ඕනෑ නැත.

ජනාධිපතිතුමාගේ කතා අහන්නට ලොකු උන්ට ඕනෑ නැති නිසා පොඩි උන් ලවාවත් අස්වන්නට ඕනෑ යයි එතුමාගේ ගෝලයින් කල්පනා කරා වෙන්නට පුලුවන. නැතිනම් පොඩි උන් ලවාත් කතාව ඇස්සෙවුවා යයි කියා ලකුණු දාගන්නට කල්පනා කරා වෙන්නට පුලුවන. රටේ හැම බඩකඩුත්තුවක්ම දේශපාලනීකරණය වන කල පොඩි දරුවන් පමණක් ඉන් වෙන් කර තැබීමේ තේරුමක් නැතැයි සිතුවා වන්නට ද පුලුවන. උන්ගේ මොළ ගෙඩි ද සෝදා දැම්මොත් පරම්පරා ගණනකටම හොද්ද බොර වෙන නිසා එහෙම කළා වන්නට ද පුලුවන.

පුංචි පරහකට ඇත්තේ සීතාම්බර පට ඇද සිටියායයි සිතා සිටි රජතුමාට ඔය ඉන්නේ හෙලුවෙන් යයි කීවේ පුංචි කොලුවෙක් වීම ය.

රජතුමාගේ කතන්දර කොල්ලන් අහන් හිටියා නම් (උන් බොහෝ දෙනෙක් නම් අහගෙන ඉන්නා එකක් නැත) උන් වැඩිහිටියන්ට වඩා හොද ප්‍රතිචාරයක් නම් රජාට දක්වනු ඇත්තේ ය.

දරුවන්‍ තම දේශපාලන රංගනයන්ට දායක කර ගැනීමට තරම් පාලකයින් පිරිහෙන විට රටකට ලබන කල දසාව ගැන එයින්ම වැටහීමක් ලැබේ.

ඉතින් මක්කැයි?

Posted in: Uncategorized