චිරං ජයතු!

Posted on November 19, 2010



පරාජික දේශපාලන ව්‍යාපාරවල බොරු තර්ජන හමුවේ නොසැලී පය තැබූ මාවතේ පෙරට යන ලෙස අපි අපේ රජතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

සංවර්ධනය හා පඩිපත යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස එතුමා තමන්ගේ කදවුරෙන් ඉල්ලා සිටියේ ඊයේ පෙරේදා ය. බොරු තර්ජනයන්ට නොබියව මුහුණදී සංවර්ධන මාවතේම ඉදිරියට යන ලෙස අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමා වටේ ඉන්නා අය බැරිවෙලාවත් එසේ නොකර අනිත් පාරට පිවිසෙන්නට යැයි ඔබෙන් ඉල්ලා සිටියොත් වන කණගාටුදායක තත්වයෙන් ඔබත් රටත් බේරාගනු පිණිස ය.

හෙට හොද වෙතැයි සිතා අප කල් ගත කරන්නට පටන්ගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ය. මේච්චර කාලයක් ඉවසන් සිටිය එකේ තවත් ටිකක් ඉවසන්නට අපට බැරි කමක් නැත.

ජවිපෙ හා එජාපය හැරෙන්නට වෙන කවුරුවත් පඩි වැඩිකරන්නැයි ඉල්ලා නැත. එහෙව් එකේ ඒ ගැන ඔය තරම් හිත කරදර කරගන්නට ඕනෑ නැත.

පොඩි සැණකෙළියක් පෙන්නා වීදි නාට්‍යයක් ප්‍රදර්ශනය කර අපට පුංචි පහේ ආතල් එකක් ලබා දෙනවා නම් වෙලාවේ හැටියට හොදටම ඇති ය.

පාර්ලිමේන්තුවට වඩ වඩා නලු නිලියන් පත් කර රිදී රැයක් තත්වයට එය පත් කර ගන්නා ලෙසත් එහි නලු නිලියන් රගන ජවනිකා පෙන්වා අපට පොඩි සොමියක් පමණක් ලබා දෙන ලෙසත් අපි වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

අව්වැසි නොතකා ලංකාවේ දිගම උමග බලද්දීවත් අපට බඩ ගිනි දැනුනේ නැත. අපගේ හිත පිරී ඇති නිසාවෙනි.

ඇත්තටම අප ඉල්ලා සිටින දේවල් මිසක වෙන දෙයක් අපට දීමේ ලොකු තේරුමක් ද නැත. ඒ නිසා කීප දෙනෙකු හෝ සංවර්ධනය කරන ව්‍යායාමය නම් අත් නොහැරිය යුතු ය.

වරායක් විවෘත කරනවාටත් වඩා අපට ආඩම්බර අපේ නැවක් අපේ ස්වාමීන්වහන්සේලා විසින් පිරිත් කියමින් අපේ වරායට ගෙන එන විට ය. නැගුණු සතුටු කදුලු කම්මුල් දිගේ ගලා ගියේ අප නොදැනුවත්වම ය.

ඔබගේ උපන් දිනය සමරන අද දවසේ චිරං ජයතු කියා ඉත සිතින් සුභ පතන්නට අප කැමති ය.

නිදහස් චතුරශ්‍රයේදී ලැබුනු කිරිබත්වලින් තවමත් බඩ පිරී ඇත. ඔබතුමාටත් සියලු නායක කාරකාදීන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරේවායි අපි පතමු. කිරිබත් කෑල්ලක්වත් මෙසේ කන්නේ ඒ ඇත්තන්ට පිංසිද්ධ වෙන්න ය.

Posted in: Uncategorized