කාකද්වීපයේ සුචරිතවාදය

Posted on November 17, 2010



සූදු කෙළිය මගේ දරුවන්ට මා අනුමත කරන්නේ නැත. එහෙත් සූදු කෙළින්නට කැමති එවුන්ට ඒ අවස්ථාව ලබා දී කීයක් හරි හොයාගැනීම ගැන මට හිරිකිතයක් නැත. ඒ නිසා සූදුව වැනි අපචාර කම්බස් කරන ගමන් ඒවා අල්ලපු වැටේ ඉන්නා එකාට විකිණීමට මට අවස්ථාවක් ඇත.

මගේ රටේ අහිංසක ජනතාව මත්පැන් බී ලෙඩ වෙනවාට මා කැමති නැත. එහෙත් මගේ ගෙදරට ගොඩවදින මාධ්‍යවේදීන්ට මත්පැන් දෙන එක ගැන මා දෙපාරක් සිතන්නේ නැත. මහලොකුවට හතරවෙනි ආණ්ඩුව යයි තමන්ටම කියා ගන්නා උන්ට මතට තිත තියන්නට පාරම්බබා අපට මත්පැන් දෙන්නේ ඇයිදැයි මගෙන් අහන්නට කොන්දක් නැත්නම් ඒක මගේ වැඩක් නොවේ. ඒ නිසා මතට තිත තියන ගමන් මතින් සංග්‍රහ කිරීමට මට අවස්ථාවක් ඇත. මගේ ආණ්ඩුව තිබියදී තවත් හතරවෙනි ආණ්ඩුවක් කුමට ද? උන් ඉක්මණින් බීලා තොලොංචි වී යන එකම හොද ය.

මගේ ඇමැත්තාට කුක්කු බොන්න හිතුනාට කමක් නැත. එහෙත් මුලුමහත් ජනතාවක් රටේ ගැහැණු‍න්ගෙන් කුක්කු ඉල්ලා සිටියොත් වෙන්නේ මහා අකරතැබ්බයකි. ඒ නිසා එහෙම කුක්කු බොන්නට හිතෙන ගෑනු රූප සහිත බිල්බෝඩ් ද චිත්‍රපටි ද සියල්ල තහනම් කළ යුතු වන්නේ ය. නැත්නම් කොටු දමා වහංගු කර දැමිය යුතු වන්නේ ය. දැනටමත් ඒ නීතිය ක්‍රියාත්මක වේ. සීගිරියේ කුක්කු ටිකත් වනසා දමන්නට තැත්කළ එකා ඒ අතින් හරි ය. ඒත් ඇමැත්තාගේ කතාව නිසා මට ඇතිව තිබෙන ප්‍රශ්නය නම් උඩරට සාරිය ඉක්මණින් තහනම් කළ යුතු ද යන්න ය. පිහිනුම් තටාකවල දිය රෙදි ඇදීමට ද රූපවාහිනියේ මෙගාස්ටාර්වල නටන ගෑණුන්ගේ කුක්කු පෙනෙනා විට කොටු දැමීම ද තවදුරටත් කල්පනා කර බැලිය යුතු කාරණාය.

අන්තර්ජාලයේ නිල් චිත්‍රපටිවල අපේ රටේ කොල්ලන් කෙල්ලන් නැතිව වෙන ජාතිකයින් හිටියාට ප්‍රශ්නයක් නැත. එහෙත් අවුල නම් මුහුණ ඇග දිහා බලා උන් රටේ යයි වෙන් කර අදුනා ගැනීම ය. මට අමාරුවුනාට එහෙම පුලුවන් අය මගේ පාලනයට අර්ඨයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නිසා මා බේරිලා ය. පුංචි අවුලකට ඇත්තේ මෙහෙම දඩබ්බර වැඩකළ උන්ගේ ඡයාරූප ප්‍රදර්ශනය කිරීම සමහර පත්තර කන්තෝරුවල ඉන්නා පණ්ඩිතයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම ය. උන්ව ආයි රජගෙදරට කැදවා සංග්‍රහයක් කරවත් බැලිය යුතු ය.

ඇත්තටම ශිෂ්ඨ රටක් හදන්නට තහනම් කරන්නට වුවමනා දේ සොයන්නට යෑම නිසා වෙනත් රාජ්‍ය පාලනයක් ද කරගන්නට වෙලාවක් මට නැත.

මම කාකද්වීපයේ රජතුමා වෙමි. ලංකාවේ නම් මේවා ටොයිස් බව මා අසා තිබේ. ඒ දීපංකරයටවත් ගිහින් ඉගෙන ගෙන එන්නට මම සිතා සිටිමි.

කකද්විපයේ රජතුමා බොහෝ රට රාජ්‍යවල යන නිසා සමහර විට මෙහෙට එන්නට කීවොත් නක්ෂත්‍රකාරයෙක් එපා කිව්වොත් මිසක නෑවිත් ඉන්න එකක් නැත. එහෙම වුනොත් මම ගොඩ ය. කාකද්විපය සුචරිත දේශයක් කිරිමේ මගේ සිහිනය සාර්ථක වනු ඇත්තේ ය.

එහෙම හිතමින් මම ලංකාද්වීපයේ රජතුමා හා දුරකථනයෙන් සම්බන්ධවීමි. දේශය සුචරිත නම් කන්න නැතිවුනාට මිනිසුන් ඉවසයි නේද? ඒකත් මතක ඇතිව හගිස්සවා ගත යුතු ය.

Advertisements
Posted in: Uncategorized