තොල් පෙති මත හාදුවලට ද වෙනම වීදියක් – සුද්දන්ට පමණයි!

Posted on November 15, 2010



බසයක් එනතුරු බස්නැවතුම් පොළක රැදී සිටියෙමි. ඒ අතරතුර මා අභියසයට ආවේ සුදු හමැති තරුණ ජෝඩුවකි. උන් දෙදෙනාම හිටියේ උන්ට පමණක් උරුම වූ ලොවක කියා හැසිරීමෙන් පෙනෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. තොල්පෙති මත හාදු වැස්සක් වැස්සේ මගේ අභියසදී ය.

රූපවාහිනියේ නම් මේ දර්ශනය කොටු දමා මිසක් පෙන්වන වර්ගයේ එකක් නොවේ. එහෙත් කොටු නැතිවම මා ඉදිරියේ එය දර්ශනය වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ සම්මත නීති යටතේ එය වරදක් නොවෙතත් එයම රූපවාහිනියේ පෙන්වූයේ නම් එය වරදක් නිසා මට ඇතිවූයේ උභතෝකෝටියකි.

ප්‍රසිද්ධියේ තොල්පෙති මත හාදු තැබීම මේ තත්වය යටතේ තහනම් කළ යුතු ද? නැත්නම් රූපවාහිනියේ ඒ සදහා යොදා ඇති තහනම අර්ථ ශුන්‍ය නොවන්නේ ද?

නීතිය මගින් තහනම් නොවෙතත් එහෙම එකක් අපේ ජෝඩුවක් කරලා පොලීසියට හෝ සරසවියේ ආරක්ෂක නිලධාරීන්ට මුලිච්චි වුනොත් නම් බඩුම තමා ය.

එහෙත් මේ තත්වය සුදු ජෝඩු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරතැයි සිතන්නට අමාරු ය. ඒ නීතියෙන් උන්ට වෙනම වරප්‍රසාදයක් හිමිනිසා නොවේ. පොලිස් කාරයින් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බැරි නිසා ය. පුලුවන් වුනත් සුද්දන් ඉදිරියේ සවුත්තු වෙන්නට අකමැති නිසා ය.

ඒ වුනත් සුචරිතවත් ධර්මරාජ්‍යයක් කරා යන ගමනේ මෙය බාධකයක් ලෙස මතු විය හැකි ය. අපට ඒ නිසා මෙහෙම අදහසක් ඇති වුනේ ය. සූදුවලට මෙන්ම තොල්පෙති මත හාදුවලට ද වෙනම වීදියක් ඇති කිරීම ය. එයට ඇතුළු වීමට බබාලාට ද බබා උක්කුන්ලාට ද තහනම් කිරීම ය.

සූදු පනත මෙන් විශේෂ පනතක් ගෙන ඒම මගින් මේ සද්කාර්යයට ආණ්ඩුවට අත ගැසිය හැකි ය. එතකොට සංස්කෘතිය නැමැති රැවුලත් බේරා ගෙන ආර්ථික ලාභ නැමැති කැද බොන්නට පුලුවන.

පොලීසිය මේ දවස්වල දාගන්නා තොප්පි දිහා බලන විට අපට පෙනෙන්නේ මේ ගැන නිශ්චිත තීරණයක් ආණ්ඩුව නොගන්නේ නම් පොලීසිය ඉතා ඉක්මණින් මෙවැනි බහුභුතයක් පස්සේ ගොස් නාගන්නට ඉඩ ඇති බව ය.

Posted in: Uncategorized