සරසවි සිසුන් වැඩිහිටියන් ද ළමයින් ද?

Posted on November 14, 2010



ඇත්තටම මේ ප්‍රශ්නය තේරුමක් නැති එකකි. මේ රටේ වැඩිපුර ඉන්නේ බබා උක්කුංලා බැවිනි. හරි වැරැද්දක් තේරුම් ගැනීමට බැරි ඒ නිසාම ආණ්ඩු මට්ටු කොට තබා ගත යුතු නිතර බණ කියා සාදා ගත යුතු අද බාලයින් බැවිනි.

ඇත්තටම රටේ බොහෝ දෙනා දහ අටට අඩු ය. දහ අටට වැඩි අය ඉන්නවා නම් ඉන්නේ පාලකයින් ලෙස ය.

එහෙම තත්වයක සරසවි සිසුන් වැඩිහිටියන් ලෙස සළකන්නේ කෙසේ ද?

අම්මලා තාත්තලා ලවා අවවාද අනුශාසනා දී භික්ෂුන් වහන්සේලා ලවා ධර්මානුශාසනා කොට පොලීසිය ලවා දණ ගස්වා හිරේ විලංගුවේ දමා ගම්මු ලවා බන්නවා කෝටුවෙන් තලා උන් හැදිය යුතු ය.

උන්ට දේශපාලනය තහනම් කළ යුතු ය. පෙම් කිරීම නීති විරෝධී කළ යුතු ය. රංචු ගැසීම වැළැක්විය යුතු ය.

දෙන දෙයක් කාලා කියන දෙයක් අහලා නිදාගන්නට ජනතාවට පුලුවන් නම් උන්ට බැරි වන්නේ මන්ද?

රටේ ජනතාවගේ පමණක් නොව සරසවි සිසුන්ගේද දේශපාලන පරිණතභාවය ගැන අපට ද ගැටලු තිබේ. එහෙත් ඒ සදහා අවශ්‍ය වන්නේ සරසවිය තුළ වඩා බුද්ධිමත් සංවාදයන්ට ඉඩකඩ සැලසීම විනා හරක් රැලක් ආම්බන් කරන විදිහට පුංචි ළමුන් ආණ්ඩුමට්ටු කරන විදිහට වැඩිහිටි සරසවි ශිෂ්‍යයින් පාලනය කිරීම නොවේ.

එහෙත් අවාසනාවට ආණ්ඩුව හා කල්ලි ගැහුණු සරසවි පාලකයින් සරසවි ශිෂ්‍යයින් තරමටවත් පරිණත නොවූ මන්ද බුද්ධික පිරිසක් බැවින් ඒ සදහා අවශ්‍ය කරන පරිචය උන්ට නැත. උන් දන්නා එකම දෙය පොලීසිය කැදවීමත් තමන් සතු කුමන නීතියක් හෝ භාවිතා කොට අනවශ්‍ය මැදිහත්වීම් කරන්නන් කොටු කර ගැනීමත් වීම ජාතියේම අවාසනාවකි.

බොහෝ සරසවිවල පාලනය දරන්නේ ආණ්ඩුවේ හෙංචයියලා බැවින් මේ තත්වය ඉදිරිකාලයේ වෙනසකට භාජනය වෙතැයි සිතිය නොහැකි ය. (සරසවි පාලක සභාවල වැඩි චන්දය ලබන අය පසෙකලා දෙවැනි තුන්වෙනි තැනට පත්වන ආණ්ඩුවේ ගෝලබාලයන් බොහෝ සරසවිවල පාලකයන් ලෙස පත් කර තිබෙන බව බොහෝ දෙනා දන්නා දෙයකැයි උපකල්පනය කර තිබේ.)

ඒ නිසා සරසවි සම්බන්ධ ප්‍රශ්නය තවත් චිරාත් කාලයකට අප විදිය යුතු ය.

ළමයිනේ උඹලා දෙන දෙයක් කාලා කියන දෙයක් අහගෙන හිටපල්ලා! එලියට ගියත් කොරන්නට වෙන්නේ ඕකම නිසා දැන්ම සිට ඊට පුරුදු වෙන එකෙන් උඹලාගේ කාලයත් උඹලාගේ අම්මලා තාත්තාලාගේ මුදලුත් ඉතිරි වන්නේ ය.

Posted in: Uncategorized