සූදුව ගැන කතිකාවතක්

Posted on November 12, 2010



සූදුව යනු මුදලට ඔට්ටු ඇල්ලීම ය. ‍

මැතිවරණය කාලයට අල්ලන ඔට්ටු ද වැටෙන්නේ සූදු ගණයට ය. හැබැයි ඒ කරට කර සටනක් යන විට ය. නැත්නම් එතැන සිදුවන්නේ අනුවණකම හා අන්ධ අනුගාමිකත්වය නුවණක්කාරයෙක් විසින් පහසු ගොදුරක් බවට පත් කර ගැනීම ය.

ලොතරැයි ද සූදුවකි. වාසනාව උරගා බලන බො‍හෝ ක්‍රීඩාවල ද ඇත්තේ සූදුවක ලක්ෂණයන් ය.

සූදුව නීත්‍යනුකූල කර පනතක් ගෙන ඒම ඒ අතින් අපට විරුද්ධවිය හැකි දෙයක් නොවේ.

(සූදුව නරක නම් ඉහත සියල්ල ද නරක ය. ඒවා හොද නම් මුදල් වැඩිපුර වැය වන සූදු පමණක් වැඩිපුර නරක් වන්නේ නැත.)

ප්‍රශ්නයකට ඇත්තේ සුචරිතවාදීන් විසින් ඒවා ප්‍රචලිත කිරීමටත් ඒ මගින් මුදල් ලබා ගැනීමටත් ප්‍රසිද්ධියේ ඉදිරිපත්වීම ය.

ඒ කෙසේවුනත් අපට හිතෙන්නේ මේ ඉදිරි පියවරක් බව ය.

දුප්පත් මිනිසුන්ගේ රුපියල් 10ට විද සූරන ලොතරැයි හරහා පමණක් සල්ලි ගරන්නේ නැතිව සල්ලි කාරයින් විනෝදයට වියදම් කරන සල්ලියෙන් රට දියුණු කිරීමට ඉන් ඉඩක් ලැබෙන නිසා ය.

එහෙත් අපට මේ නිසා ලැබෙන තව සතුටක් ඇත. එය හැංගීමේ තේරුමක් නැත. ඒ දේශප්‍රේමීන් නාගන්නා හැටි දැකලා ය. තව නාන්න. එතකොටවත් ඔය සුචරිත ලෙඩේ සුව වී මනස සන්සුන් වෙනවා ඇත. සිනාසෙන අතරේ අප එසේ කියන්නේ උන්ගේ ලෙඩ සුවවීම රටටම ආශිර්වාදයක් වන නිසා ය.

සූදු අන්තුවන් නිසා කඩාකප්පල් වන පවුල් තිබේ. මත වගේම එය ද ඒ නිසා අනතුරු දායක ය. ඒ පමණ නොදැන කරන්නට යාම නිසා ය. එහෙත් මත මෙන්ම සූදුව ද අනතුරක් වන්නේ ඒ ගැන ඇති නොදැනුවත්කම නිසා ය. අප වඩාත් කැමති දැනුවත් මිනිසුන් ලෙස ඒවා අපේ රටේ පරිහරණය කරනු දැකීම ය. ඊට ඒවා බැහැර කිරීම ද ඇතුළත් ය. අප කැමති ඒ බැහැර කිරීම් නීති මාර්ගයෙන් නොව දැනුවත් භාවයෙන් සිය කැමැත්තෙන් මිනිසුන් විසින් එසේ කරනු දැකීමට ය.

ඒ අපේ සමාජය වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් ලෙස අප සළකන බැවිනි.

Posted in: Uncategorized