සංස්කෘතිය කන්න ද? ඇත්තටම සංස්කෘතිය කියන්නෙ මොකද්ද?

Posted on November 10, 2010



සංස්කෘතිය කන දෙයක් නම් නොවේ. බොන දෙයකුත් නොවේ. එහෙත් එය අපගේ ජීවිතයට වැදගත් දෙයකි.

හරි සහ වැරදි කවරේදැයි අප අනුදැන ගන්නේ එයින් මෙහෙවනු ලැබීමෙනි. එසේ බැලූවිට සංස්කෘතිය යනු අලිඛිත නීති පද්ධතියකි. එහි අඩංගු වන්නේ සමාජයක් තමන්ගේ පැවැත්ම හා වර්ධනය උදෙසා අවශ්‍ය යැයි වටහා ගත් සාර ධර්මයන් ය. ඒවා ප්‍රකාශයට පත්වන්නේ කවි, සංගීතය හෝ වෙනත් එවැනි කලාවක ප්‍රකාශනයක් හැටියට විය හැකි ය. සමහරවිට අපගේ හැසිරීම් හැටියට විය හැකි ය. තවත් සමහර විටක අවවාද අනුශාසනා හැටියට විය හැකි ය. ඒවා කාලයක් තිස්සේ සමාජයක් විසින් ගොඩනගනු ලැබ එහි වැදගත් කම වටහා ගනු ලැබ ඒ නිසාම ඊලග පරම්පරාවලට දායාද කර දෙනු ලබන ඒවා ය. එකිනෙකා හා කෙසේ කටයුතු කළ යුතුදැයි අප තේරුම් ගන්නේ ඒ සංස්කෘතියට අනුව ය.

ඒවා නැති වුවහොත් සමාජයේ පැවැත්ම අර්බුදයකට යා හැකි අතර ඒවා නැතිව සමාජ ප්‍රගමනය පවා ඇති නොවිය හැකි ය.

අප ගොවිතැන්බත් කර ගෙන ජීවත් වූ කාලයේ අපට අවශ්‍ය වූ සාරධර්ම සමහරවිට අප තරගකාරි ලොවකට මුහුණ දෙන විට අපට ඒ සදහා උදව් නොවේ. ඒ නිසාම මේ සංස්කෘතිය විචාරයට ලක්විය යුතු ය. එහි අදට ඇති වලංගු භාවය පිරික්සිය යුතු ය.

එයින් අදහස් කරන්නේ එක් කලෙක උදව්වූ සාර ධර්මම ඊලග යුගයේ අපේ ප්‍රගමනයට හා පැවැත්මට බාධා ඇතිකළ හැකි බව ය.

සමහර විට අලුත් ලෝකයට මුහුණ දීමේදී අප සතුව ඇති සාරධර්ම ඉවත දා වෙනස් සාරධර්මයන් රැසක් ගොඩනගා ගැනීම අවශ්‍ය වන්නට පුලුවන.

සංස්කෘතිය ගලා යන්නක් විකාශනය වන්නක් යයි කියන්නේ එබැවිනි.

එහෙත් බොහෝ දෙනෙකුට පවතින සංස්කෘතියට ඇති ඇල්මෙන් ගැලවිය නොහැකි ය. ඔවුහු ඒ නිසාම අතීතයට ද ඇල්ම කරති. අලුත් ලෝකය නොපැමිණියේ නම් හොද යයි සිතමින් ජීවත්වෙති. එවිට පරණ සංස්කෘතියත් රැකගෙන ජීවත්විය හැකි බැවිනි. එහෙත් එයින් විසදුමක් ලැබෙන්නේ නැත. සිදු වන්නේ අප ඒ නව ලොවට පිවිසීම පමාවීම පමණකි.

ලොව තුළ සිදුවන ප්‍රගමනයෙන් අපට ගැලවීමක් නැත. එය සරලත්වයේ සිට සංකීර්ණත්වය කරා ගමන් කරමින් සිටියි.

පැරණි සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන ඉන්නා අයට කළ හැක්කේ තමන් පසු කර ඉතිරි අය යන මග දෙස බලා හිල්ලීමට පමණි.

පැරණි සංස්කෘතිය ඉවත දමා රික්තයක් ඇති කිරීම එයට පිළිතුර නොවේ. මක්නිසාද යත් පොදුවේ සමාජය විසින් හරි යැයි පිලිගන්නා හර පද්ධතියක් අපට අවශ්‍ය වන බැවිනි. අප අලුත් හර පද්ධතියක් ගොඩ නැගිය යුතු ය. එහෙත් එය කළ හැක්කේ අප දැනටමත් ඔලුව උඩ තබා ගෙන ඉන්නා බරින් අප නිදහස් වේ නම් පමණකි.

මේ පිළිතුර අපෙන් සංස්කෘතිය කුමක් දැයි ඇසූ 16 හැවිරිදි මල්ලියාට ය.

සංස්කෘතිය පිහියකි. එක කාලයක හොදින් කැපෙන එය පසුකලෙක මොට්ට වෙයි. සමහර විට එක්කෝ එය මුවහත් කර ගත යුතු ය. නැත්නම් වෙනත් පිහියකින් විස්ථාපනය කර ගත යුතු ය. නැත්නම් වෙන්නේ එයින් කිසිවක් නොකැපුන ද ඒකට සුවද දුම් අල්ලමින් සිටීමට ය. පිහියක් නොකැපෙන කල එයට සුවද දුම් අල්ලමින් ලග තබා ගැනීමේ තේරුමක් නැත. අතීතය මතක් වීම පිණිස කටුගෙයක තැන්පත් කිරීම සදහා හැරුණු විට එවැනි පිහියකින් කුස්සියකට වැඩක් නැත.

Posted in: Uncategorized