හිරගෙදර ජර‍මරේ!

Posted on November 9, 2010



නිව්ස්වල අඩුවක් මාධ්‍යවලට නැත. විමසන්නට ඇති ප්‍රස්තුතවල අඩුවක් අප වගේ බ්ලොග් කරුවන්ට නැත. විදිය හැකි ආතල්වල අඩුවක් ජනතාවට ද නැත.

මෙගා ස්ටාර් ඉවර වුනා විතර ය. මෙගා ස්ටාර් ප්‍රේක්ෂකයන්ට තමන් නොදෙවෙනි බව කියන්නට ඉදිරිපත්ව ඇත්තේ හිරගෙදර ඇත්තන් ය.

පරිස්සමට තියපු දේ ඈලියාවට ගියහම මෙහෙම දේ වෙනවා ය.

ප්‍රචාරය වෙන කතාවල හැඩ වෙනස් ය. එක කතාවකින් කියවෙන්නේ හිර ගෙදර මුලාදෑනින්ම කල් ඇතුව ඔත්තුව දීලා තිබෙන බව ය. ඒ කතාව එක ස්ටාර් කෙනෙක් බස් එකෙන් ගෙනත් පිරිස සූදානම් කොට තිබුනා යයි කියන කතාව වගේ ය.

තව කතාවකින් කියන්නේ හිරගෙදර දඩුවම් ලබන සුවිශේෂී පුද්ගලයෙකු මේ අල්ල පනල්ලේ අනතුරක් කිරීමට ප්ලෑනක් තිබූ බව ය.

තවත් කතාවකින් කියන්නේ මත්කුඩු මර්දනයට බොහෝ දේ කෙරෙන බව රටට ඒත්තු ගන්වන්නට ආණ්ඩුවට ඕනෑ වුනු එක කලබලේට කරන්නට ගිය නිසා වැඩේ අතේ පත්තු කරගත් බවකි.

එය කුමක් වුවද අවසානයේ පොලීසිය අම්බානට ගුටි කා තිබේ. සමහරු එය දිට්ඨ ධම්ම වේදනීය කර්මය යයි කියන්නට ඉඩ තිබේ. මේ දවස්වල දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්නේ හිටගෙන ය.

හිර ගෙදර මුලාදෑනීන් ඉදිද්දි ඒකට ඇගිලිගහන්නට ගියහම ඒ මුලාදෑණීන්ට තරහ යන එක අහන්නත් දෙයක් ද කියා සමහරු කියන්නට පුලුවන. හැමෝටම අයිති වැයික්කිය තිබේ. අනුන්ගේ වැයික්කිවලට රිංගන්නට ගියහම කොහොමටත් වෙන්නේ කන්න ය.

නීතිය අලුතෙන් අර්ථ දක්වා ඇති යුගයක නීතිය රකින ක්‍රියාත්මක කරවන ආයතන මෙසේ අයාලේ යෑම අරුමයක් නොවේ. යුක්තිය නොව බඩ සියල්ලට පෙර ගන්නා සමාජයක පුදුමය මෙවැනි දේ නොවේ නම් ය. අපේ රටේ මේවා කොහොමටත් ටොයිස් ය. මුලතිව්වල නිධන් හෑරු හමුදා නිලධාරීන් ගැන වාර්ථාව තිබුනේ ද හිර ගෙදර ජරමරේ තිබුනු පත්තරේම ය.

මේ තත්වය ගැන පරීක්ෂණ පැවැත්වෙනු ඇතැයි ද ඒවා හරහා වැරදි කාරයින්ට දඩුවම් ලැබෙනු ඇතැයි ද අපේක්ෂිත ය. එහෙත් අප දන්නා පරිදි තමන්ගේ එකකුට විරුද්ධව සාක්ෂි දී ඔහු/ඇය පාවාදී  ද්‍රෝහීයෙකු වන්නට හිර කාරයින්වත් හිර ගෙදර මුලාදෑනීන්වත් සිතන එකක් නැත. එහෙම වුනොත් සාක්කි නැතිවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. පාවාදීලා ලකුණු දමාගන්නට ඉදිරිපත්වන හෙංචයියකු රජයේ සාක්කිකරුවෙකු ලෙස ඉදිරිපත් වෙනු ඇත්ද නැත්ද කියන කාරණයට වඩා එහෙම අයට එලියට එන්නට ධෛර්යයක් තිබෙනවා ද නැත් ද යන්න මෙතැනදී මතුවන ප්‍රශ්නයයි.

ඒ නිසා මේ සිද්ධියේ සැබෑ දිග පළල හොයා ගැනීම අමාරු වනු ඇතැයි අපට සිතේ. නාඩගම කෙසේ අවසන් වේදැයි අපිදු විමසිල්ලෙන් බලා සිටිමු.

ඒ අතරතුරේ අපට ඇසීමට එක් ප්‍රශ්නයක් තිබේ. පොලීසියේ පන්සියක් සහභාගී වූ මේ ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් කාරයින් 50 ගණනක් හා ජේලර්වරු කීප දෙනෙක් ගැන සදහන් වුනත් එසේ තුවාල ලැබූ සිරකරුවන් ගැන සදහනක් නැත.

එයින් පෙනෙන්නේ උන් එකකුවත් තුවාල නොලැබූ බව ද? එසේත් නැතිනම් උන් තුවාල ලැබීම මෙවැනි ගැටුමකදී ප්‍රවෘත්තියක් නොවන වග ද? සිරකරුවෝත් මනුෂ්‍යයෝ වන්නේ හිර ගෙදර තාප්පයේ ලියා ඇති අකුරුවලට පමණක් බව ද? මේවාත් මේ කරන පරීක්ෂණවලදී එලිදරව්වනු ඇතැයි අපි සිතමු.

Posted in: Uncategorized