නැගෙනහිරින් ඇසෙන අලුත් යුද්දයක හඩ ද මේ?

Posted on November 6, 2010



යුද්ධයක් කොක්කෙන් නැත්නම් කෙක්කෙන් වුව අමුනාගන්නට ආණ්ඩුවට වුවමනා වී ඇතැයි අපගේ අනුමානයට සාක්ෂි තව තවත් ලැබෙමින් තිබේ.

ඒ කෙහෙළිය මෑතකදී එලියට දමන ලද කතා පුවත හරහා පමණක්ම නොවේ. නැගෙනහිර පළාතේ කන්දල්කඩු මුස්ලිම් ගම්මානයට හා මුස්ලිම් පල්ලියකට අලාභහානි කොට ඒවාට ගිනි තැබීමට පොලීසියම මැදිහත්වීම මගිනි.

ලංකාඊනිව්ස් වෙබ් අඩවිය වාර්ථාකරන ආකාරයට ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ එම ගම්මුන් සතුව තමන්ගේ භුමියට ඇති නෛතික අයිතිය ඔප්පු කරන්නට අවශ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දී තිබුනු ලියකියවිලි ද ඇතුළුව බොහෝ දෑ ඔවුන් සතුව තිබියදී ය. ඒවා පරීක්ෂාකර බැලීමට තරම්වත් ඉවසීමකින් තොරව ය.

ජේ ආර් ට ද මීට සමාන භීතිකාවක් තිබුනේ ය. ඒ නිසා විරුද්ධ විය හැකි යයි ඔහු සිතූ ඕනෑම පාර්ශවයකට ඔහු ලෝස් නැතිව බෙදුවේ ය. ඒ යුගයේ දෙමළ ජනතාවට විරුද්ධව දකුණේ ඇති කරන ලද හිංසනයන්ට ඔහුගේ වක්‍ර අනුමැතිය ලෑබී තිබුණු බවක් ඔහුගේ බොහෝ ක්‍රියාවලින් වචනයෙන් මෙන්ම නිහඩතා‍වයන්ගෙන් ද ඔහු පෙන්නුම් කළේ ය.

80 වර්ජනය යටපත් කොට කම්කරුවන් හීලෑ කළ ජේආර් සිතුවේ ඒ විදිහටම දෙමළ ජනතාව සමග ගනුදෙනුව ද බේරා ගත හැකි වෙතැයි කියා ය.

දැන් ජේආර්ගේ “හරි” බෑණා දෙමළාට තඩි බා ඌ ආණ්ඩු මට්ටුකොට ඉවර ය. මුස්ලිම්වරු ද තරුණයන් ද ආම්බාන් කර හීලෑ කර ගැනීම දැන් පටන් ගෙන තිබේ. එකක ජයග්‍රහණයෙන් ලබන හයිය ඉතිරි අයට ද තම ආධිපත්‍ය පතුරුවන්නට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස පාලකයින් සැවොම කල්පනා කරන බව පෙනේ.

එහෙත් අපට නම් මේ තත්වය ඇතිකරන්නේ භීතියකි.

ඒ හිංසනයට හා බලාහාත්කාරයට ලක්වූ නැගෙනහිර වැසියන් කෙරෙහි අපට ඇති වූ සංවේගයට අමතර වශයෙනි.

මේ සියලු දෙයෙහි කෙළවර කුමක් විය හැකි ද?

Posted in: Uncategorized